තමන්‌ට එරෙහි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් LOLC හෝල්ඩිංග්ස් අධිකරණමය ක්‍රියාමාර්ග ගනී

    October, 24, 2026

    LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ මෑතකදී සංසරණය වූ අසත්‍ය සහ නොමග යවනසුළු තොරතුරු සම්බන්ධයෙන් සමාගම නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සිය ගනුදෙනුකරුවන්, පාර්ශ්වකරුවන් සහ මහජනතාව වෙත දැනුම් දෙමින් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

    අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වැනි වගන්තිය යටතේ, නීතිය අනුව තහනම් ප්‍රකාශ ලෙස සැලකෙන අසත්‍ය සහ නොමග යවනසුළු ප්‍රකාශ අඛණ්ඩව ප්‍රචාරය කිරීම වැළැක්වීම සඳහා සුදුසු නීතිමය සහන ඉල්ලා LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගම 2026 ඔක්තෝබර් 16 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු කටයුතු ආරම්භ කළේය.

    මෙම නඩු කටයුතුවල වගඋත්තරකරුවන් අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අන්තර්ජාල සේවා සපයන ආයතන කිහිපයක්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, Meta Platforms, Inc. සහ Instagram LLC යන ආයතන ඇතුළත් වේ.

    මෙම නීතිමය ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මීට පෙර නිකුත් කළ මහජන පැහැදිලි කිරීමෙන් අනතුරුවය. එම පැහැදිලි කිරීම මගින් සමූහය සම්බන්ධයෙන් ප්‍රචාරය වෙමින් පැවැති සැලකිය යුතු ලෙස සාවද්‍ය සහ නොමග යවනසුළු තොරතුරු පිළිබඳව සමාගම කරුණු පැහැදිලි කළ අතර, එවැනි තොරතුරු අඛණ්ඩව ප්‍රකාශයට පත් කිරීම හෝ ප්‍රචාරය කිරීම සිදු වුවහොත් සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පැහැදිලිව සඳහන් කළේය.

    LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව, 2026 ඔක්තෝබර් 23 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්, ඊට විරුද්ධව හේතු දැක්වීමක් සිදු කරන තෙක් අදාළ තහනම් ප්‍රකාශ ඇතුළත් URL ලිපිනයන් වෙත ප්‍රවේශය ඉවත් කිරීමට නියම කරමින් කොන්දේසි සහිත නියෝගයක් නිකුත් කරන ලදී.

    LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී වගකීමෙන් යුතු මාධ්‍යවේදය, සාධාරණ මහජන සංවාද සහ කරුණු මත පදනම් වූ විමර්ශනයට ගරු කරයි. කෙසේ වෙතත්, සමාගමට, එහි ගනුදෙනුකරුවන්ට, ආයෝජකයන්ට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට හානි සිදුවිය හැකි අයුරින් අසත්‍ය, නොමග යවනසුලු හෝ ද්වේෂසහගත තොරතුරු ප්‍රකාශයට පත් කිරීම හෝ ප්‍රචාරය කිරීම සිදුවන අවස්ථාවලදී, සමාගම අඛණ්ඩව සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇත.