සතියක් තුළ රු. බිලියන 186ක් කොටස් වෙළෙඳපොළෙන් හේදිලා යයි

    October, 24, 2026

    දවස් 5ක් එක දිගට පහළට

    ආයෝජකයින් හට ගෙවී ගිය සතියේ ගනුදෙනු දින පහ පුරාවටම කොළඹ කොටස් වෙළෙඳපොළ හිතකර ස්ථානයක් නොවීය. ඒ සතියේ දින පහ තුළ අඛණ්ඩවම කොටස් වෙළෙඳපොළ පහළ යාමක් වාර්තා වූ බැවිනි.

    සතිය ආරම්භයේ දී (19) ඒකක 20,185.05ක් ලෙසින් සටහන්ව තිබූ සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ (23) දින ගනුදෙනු අවසානයේ දී වාර්තා වූයේ ඒකක 19,684.91ක් ලෙසිනි. ඒ අනුව පසුගිය සතිය තුළ පමණක් ප්‍රධාන වෙළෙඳපොළ මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 500.14ක පහළ යාමක් වාර්තා කර ඇත. මෙය සතිය තුළ 2.48%ක පහළ යාමකි.

    මේ අතර පසුගිය සතිය තුළ දී S&P SL20 දර්ශකය ඒකක 5,738.83 සිට ඒකක 5,613.63ක් දක්වා ඒකක 125.20ක පහළ යාමක් වාර්තා කර තිබූ අතර එය 2.18%ක පහළ යාමක් වේ.

    තවද මෙම සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය 2.55%කින් පහළ ගොස් තිබීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. සතිය ආරම්භයේ රු. බිලියන 7,293.27ක් ලෙසින් වාර්තා වූ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම සතිය අවසානයේ දී රු. බිලියන 7,107.01 ක් දක්වා පහළ ගොස් තිබුණි. ඒ අනුව පසුගිය සතිය තුළ පමණක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ගිලිහී ගොස් ඇති මුළු වටිනාකම රු. බිලියන 186.25 කි.

    කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා ආයෝජකයින්ගේ උනන්දුව ක්‍රමයෙන් හීන වන තත්ත්වයක් පසුගිය සතියේ දී තවදුරටත් නිරීක්ෂණය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් සතිය පුරාවටම වාර්තා වී තිබුණේ රු. බිලියන 4.80 ක සමස්ත පිරිවැටුමක් පමණි. එය පූර්ව සතියේ වාර්තා වී තිබුණු රු. බිලියන 6.88ක් වූ පිරිවැටුම හා සැසඳීමේ දී රු. බිලියන 2 ක හෙවත් 30.19%ක පහළ යාමකි.