ඇමති වසන්ත ලන්ඩනයේ දී UK ව්‍යාපාරික ප්‍රජාව අමතයි. මෙරට ආයෝජනයට එක්වන්නැයි ආරාධනා

    October, 24, 2026

    "ශ්‍රී ලංකාවේ නැවත නැඟී සිටින ආර්ථිකය තුළ ආයෝජනය කිරීමට එක්සත් රාජධානියේ ව්‍යාපාරිකයන්ට විශිෂ්ට අවස්ථාවක්"

    ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරික නායකයින් සහ ආයෝජකයින්ගේ සහභාගිත්වයෙන් පැවැති විශේෂ ව්‍යාපාරික සහ ආයෝජන සංසදය (Business & Investment Forum) ලන්ඩන් නුවරදී සාර්ථකව නිමාවට පත්විය.
    මෙම සමුළුව අමතමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, සාර්ථක ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේ ශ්‍රී ලංකාව මේ වන විට සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ 5% ක අඛණ්ඩ ආර්ථික වර්ධනයක් ළඟා කර ගනිමින් සිටින බවයි. ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම අපනයන වෙළෙඳපොළ වන එක්සත් රාජධානිය, 2025 වසර වන විට මෙරට ඇමරිකානු ඩොලර් බිලියන 1.73 ක ආයෝජන සබඳතා පවත්වා ගනිමින් රැකියා 22,000 කට අධික ප්‍රමාණයක් බිහිකිරීමට දායක වී ඇත.
    විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා වඩාත් විනිවිදභාවයෙන් යුතු, ස්ථාවර සහ රෙගුලාසි සරල කළ ව්‍යාපාරික පරිසරයක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) හරහා සකස් කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී සහතික කළේය. එමෙන්ම, මෙමඟින් ගොඩනැඟෙන ව්‍යාපාරික සබඳතා තවදුරටත් පුළුල් කරගැනීම උදෙසා 2027 ජනවාරි මස කොළඹදී පැවැත්වෙන "ශ්‍රී ලංකා එක්ස්පෝ 2027" (Sri Lanka EXPO 2027) ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා එක්වන ලෙස බ්‍රිතාන්‍ය ව්‍යාපාරික ප්‍රජාවට අමාත්‍යවරයා නිල වශයෙන් ආරාධනා කර සිටියේය.