October, 23, 2026
ශ්රී ලංකාවේ ප්රමුඛතම ඩිජිටල් බැංකුකරණ නව්යෝත්පාදකයා ලෙස සිය ස්ථානය නැවත තහවුරු කර ගනිමින්, කොමර්ෂල් බැංකුව 2026 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන තුනකින් පිදුම් ලබා ඇත.
සිංගප්පූරුවේ රැෆල්ස් හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙලේ දී බැංකුව ශ්රී ලංකාවේ හොඳම පාරිභෝගික ඩිජිටල් බැංකුව, හොඳම ජංගම බැංකුකරණ යෙදුම, සහ වඩාත් ම නව්ය ඩිජිටල් බැංකුව යන සම්මාන දිනා ගත්තේය.
ලොව පුරා මූල්ය ආයතන අතර ඩිජිටල් බැංකුකරණ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන මෙම සම්මාන උළෙලේ දී, නිරන්තරයෙන් නවීකරණය වන තාක්ෂණය කේන්ද්ර කරගත් අංශයක ප්රමුඛ පෙලේ ජාත්යන්තර සමාගම් සමඟ කරට කර තරඟ කිරීමට කොමර්ෂල් බැංකුවට අවස්ථාව හිමි විය.
මෙම සම්මාන උළෙල සඳහා කොමර්ෂල් බැංකුව නියෝජනය කරමින් බැංකුවේ ප්රධාන ඩිජිටල් නිළධාරී රන්දිල් බොතේජු මහතා, ඩිජිටල් බැංකු ඒකකයේ කළමනාකරු රාමේන්ද්ර නෝනිස් මහතා, සමඟින් ජ්යෙෂ්ඨ ඉංජිනේරු කළමනාකාර නදීකා නාගහවත්ත මහත්මිය යන අය සහභාගී වූහ.
බැංකුවේ ඩිජිටල් බැංකු ඒකකය සහ තොරතුරු තාක්ෂණ පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් මෙහෙයවනු ලබන, ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් වූ බැංකුවේ දීර්ඝකාලීන ආයෝජනයන්, පාරිභෝගික කේන්ද්රීය තාක්ෂණය, සහ උසස් මට්ටමේ පර්යේෂණ හා සංවර්ධන වැඩපිළිවෙල යනාදිය ග්ලෝබල් ෆයිනෑන්ස් හි මෙම සම්මානය මගින් පිළිගැනීමට ලක්විය.
බැංකුවට ලැබුනු මෙම පිළිගැනීම මගින් ශ්රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ හැකියාවන් ජාත්යන්තර වේදිකාවේ ඉහළ තලයකට ගෙන යයි. එම සම්මාන උළෙලේදී සිංගප්පූරුවේ DBS බැංකුව ලොව හොඳම ඩිජිටල් බැංකුව ලෙස නම් කරන ලදී. එමගින් මෙම සම්මාන සඳහා සලකා බලන ගෝලීය ආයතන පරාසය හා එහි ගුණාත්මකභාවය මනාව පෙන්වා දෙයි.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්රාග්ධනීකරණයක් සහිත පළමු ශ්රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව විසින් ප්රකාශයට පත් කරන ලද ලොව කීර්තිමත් බැංකු 1000 ශ්රේණිගත කිරීම්වල 2026 සංස්කරණයේ ශ්රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්රේණිගත විය. ශ්රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 270කට අධික සංඛ්යාවක් සහ පුළුල් ස්වයංක්රීය යන්ත්ර ජාලයක් ක්රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්ර මූල්ය සමාගමක් සහ ඩුබායි ජාත්යන්තර මූල්ය මධ්යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්ය සේවා සපයයි.
සේයාරු සටහන: ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේ දී බැංකුව නියෝජනය කළ කොමර්ෂල් බැංකු නිලධාරීන්.
Video Story