රු. මිලියන 51 ක මුදල් ත්‍යාග සහ 6,000 කට අධික ජයග්‍රාහකයින් සමඟ LankaQR ජාතික ‘වාසනා දිනුම් ඇදීම’ ආරම්භ කෙරේ

    October, 23, 2026

    ජයග්‍රාහකයෙකුට රුපියල් මිලියනයක් දක්වා වන සතිපතා සහ මාසික මුදල් ත්‍යාග

    ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ වැඩසටහන සිය 'වාසනා දිනුම් ඇදීම' (Lucky Draw) ළඟදීම ආරම්භ කිරීමට සූදානම් වන අතර, එහි පළමු දිනුම් ඇදීම් 2026 ඔක්තෝබර් 27 වන දින පැවැත්වීමට නියමිතය. ලියාපදිංචියකින් තොරව රට පුරා පැවැත්වෙන මෙම දිනුම් ඇදීම මගින් ගනුදෙනුකරුවන් සහ වෙළඳුන් යන දෙපිරිස විසින්ම LankaQR ගෙවීම් දිනපතා භාවිතා කිරීම දිරිමත් කිරීම සහ ප්‍රතිලාභ ලබා දීම අරමුණු කෙරේ.

    2026 සැප්තැම්බර් 01 වන දින සිට 2027 පෙබරවාරි 28 දක්වා සිදුකරනු ලබන සියලුම ගනුදෙනු මේ සඳහා සුදුසුකම් ලබන අතර, 2026 සැප්තැම්බර් 1 වන දින සිට LankaQR භාවිතා කර ඇති සෑම පාරිභෝගිකයෙකුම සහ වෙළෙන්දෙකුම කිසිදු කරදරයකින් තොරව ස්වයංක්‍රීයවම මේ සඳහා ඇතුළත් කර ගනු ලැබේ.

    සහභාගිවන්නන්ට මුදල් ත්‍යාග වර්ග දෙකක් දිනාගැනීමේ අවස්ථාව හිමිවේ:

    • රු. 5,000 ක සතිපතා දිනුම් ඇදීමේ ත්‍යාග (සතිපතා ජයග්‍රාහකයින් 250 දෙනෙකුට)
    • රු. 1,000,000 බැගින් වන මාසික මහා දිනුම් ඇදීමේ ත්‍යාග (ජයග්‍රාහකයින් දෙදෙනෙකුට), රු. 500,000 බැගින් (ජයග්‍රාහකයින් දෙදෙනෙකුට) සහ රු. 250,000 බැගින් (ජයග්‍රාහකයින් දෙදෙනෙකුට)

    සතිපතා දිනුම් ඇදීම් මඟින් ජයග්‍රාහකයින් 250 දෙනෙකු (වෙළඳුන් 125 ක් සහ පාරිභෝගිකයින් 125 ක්) තෝරාගනු ලබන අතර, මාසික මහා දිනුම් ඇදීම් මඟින් ජයග්‍රාහකයින් හය දෙනෙකු (පාරිභෝගිකයින් තිදෙනෙකු සහ වෙළඳුන් තිදෙනෙකු) තෝරාගනු ලැබේ. මෙම මාස හයක කාලය පුරා ලබා දෙන මුළු ත්‍යාග මුදල රුපියල් 51,000,000 ක් ලෙස ගණන් බලා ඇත.

    සුදුසුකම් ලබන සෑම LankaQR ගනුදෙනුවක් මඟින්ම (පුද්ගලයාගෙන් වෙළෙන්දාට සිදුකරන ගනුදෙනු සහ පුද්ගලයාගෙන් පුද්ගලයාට සිදුකරන ගනුදෙනු යන දෙවර්ගයම මේ සඳහා සුදුසුකම් ලබයි), අදාළ පාර්ශ්ව දෙකම මෙම දිනුම් ඇදීම් දෙකටම ඇතුළත් වේ. සියලුම ත්‍යාග මුදල් ජයග්‍රාහකයාගේ බැංකු ගිණුමට සෘජුවම බැර කරනු ඇත.

    යම් මාසයකට අදාළ සියලුම සතිපතා දිනුම් ඇදීම් හතර සහ මාසික දිනුම් ඇදීම ඊළඟ මාසයේදී එකවර පවත්වනු ලැබේ. ඒ අනුව, සැප්තැම්බර් මාසය ආවරණය කරමින් සතිපතා දිනුම් ඇදීම් හතරක් සහ එක් මාසික මහා දිනුම් ඇදීමක් ඔක්තෝබර් 27 වන දින සිදු කෙරේ.

    මෙම දිනුම් ඇදීම සහභාගී වන බැංකු සහ LankaPay වෙතින් ලැබෙන ගනුදෙනු දත්ත මත පදනම්ව ක්‍රියාත්මක වන අතර, GovTech ආයතනයේ සහය ඊට හිමිවේ. විනිවිදභාවය තහවුරු කිරීම සඳහා සෑම දිනුම් ඇදීමක්ම විශේෂ දිනුම් ඇදීම් කමිටුවක් (Draw Committee) මඟින් අධීක්ෂණය කරනු ලැබේ. සෑම දිනුම් ඇදීමක් සඳහාම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අවම වශයෙන් එක් නියෝජිතයෙකු හෝ සහභාගී වනු ඇත.

    විනිවිදභාවය පවත්වා ගැනීම සඳහා, ජයග්‍රාහකයින් පිළිබඳ තොරතුරු සති දෙකක් ඇතුළත අදාළ බැංකු හරහා ප්‍රකාශයට පත් කෙරෙන අතර, ත්‍යාග සංචිතය බෙදාහැරීම පිළිබඳ තොරතුරු ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech ආයතනය මඟින් ප්‍රකාශයට පත් කෙරේ.

    Video Story

    Stock Market

    Exchange Rates