ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක්?

    April, 27, 2022

    ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස තාවකාලිකව නැවත වර්ගීකරණය කරන ලෙස ඉන්දියාව පවසයි.

    පසුගිය දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පාලක මණ්ඩල රැස්වීමේදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ශ්‍රී ලංකාවට සහාය ඉල්ලා සිටිමින් මේ බව පවසා ඇත.

    මෙහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින පෙර නොවූ විරූ මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස වඩා වැඩි බහුපාර්ශ්වික ආධාර ලබා ගැනීමට මෙය උපකාරී වනු ඇති බවයි.

    ලෝක බැංකු වර්ගීකරණයට අනුව ඩොලර් 1,045ට වඩා අඩු ඒකපුද්ගල දළ ජාතික ආදායමක් සහිත රටවල් ‘පහළ ආදායම්‘ ලබන කාණ්ඩයට අයත් වනු ඇත.

    2019 වසරේ දී ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 3,852 ක් ලෙසින් ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව අයත් වන්නේ ඩොලර් 1,046-4,095 කාණ්ඩයටයි. එය ‘පහළ මැදි ආදායම්‘ ලබන කාණ්ඩය වේ.

    ඩොලර් 4,096 -12,695 ක ඒකපුද්ගල දළ ජාතික ආදායමක් ලබන රටවල් ඉහළ මැදි ආදායම් කාණ්ඩයට අයත් වන අතර ඩොලර් 12,695 ට වැඩි ඒකපුද්ගල දළ ජාතික ආදායමක් ලබන රටවල් ඉහළ ආදායම් කාණ්ඩයේ රටවල් ගණයට වැටේ.

    විවිධ රටවල් සහ ජාත්‍යන්තර ආයතන විසින් ලබා දෙන ණය ආධාර සහ සහන පැකේජ ලබා ගැනීම සඳහා රටක් පහළ ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කර තිබීමේ දී අතිරේක ප්‍රමුඛතාවයක් හිමිවනු ඇත.

    ඡායාරූපය - කොළඹ නගරයේ ගෑස් අලෙවි මධ්‍යස්ථානයක, ගෘහස්ථ ගෑස් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පෙළ ගැසී සිටින පාරිභෝගිකයින් පිරිසක්