ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඉදිරියේදි තවත් බලතල – රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

    February, 27, 2023

    වැඩි වශයෙන් ආයෝජන ආකර්ෂණය කර ගැනීම හා ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පහසු කිරීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැඩි බලතල සහිත ආයතනයක් බවට පත් කරන්නේ යැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    කලාපයේ අනෙක් රටවල් හා සැසදීමේදී ශ්‍රී ලංකාව තුල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට වැඩි වෙහෙසක් දැරිය යුතුය. ආයෝජන මණ්ඩල ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර ඇතැම් ව්‍යාපෘති සදහා ආයතන 70කින් පමණ විවිධ අනුමැතීන් ලබා ගත යුතුයි. මෙම තත්ත්වය ආයෝජකයින් මෙරට ආයෝජනයට මැලිකමක් දක්වයි.

    මෙම ක්‍රමයෙන් බැහැරව ආයෝජකයෙකුට මෙරටට පැමිණි විගසම සිය ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිය හැකි (Plug & Play)  වැඩපිළිවලක් සකස් කරන බවද හෙතෙම පවසයි. මේ අනුව යම් ව්‍යාපෘතියකට අවශ්‍ය සියළු අනුමැතීන් ලබා ගැනීමෙන් පසු ආයෝජකයන්ට ආයෝජනය සදහා ආරාධනා කරන බවත්, ඔවුන්ට ඇත්තේ  ගිවිසුම් ගත වීමත් සමග ව්‍යාපෘති ආරම්භ කිරීම පමණක් බවද හෙතෙම පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ඵල කළේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සියළුම වෘත්තීය සමිති නියෝජනය කරමින් එක් වූ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ නියෝජිත හමුවේදීය.

    පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට දීර්ඝ කාලීන හා ස්ථාවර විසදුම වන්නේ සංචාරක ව්‍යාපාරය හා සෘජු විදේශ ආයෝජන ලබා ගැනීමයි. මෙම තත්ත්වය තුල  ආයෝජන මණ්ඩලයට පැවැරී ඇති ජාතික වගකීම අති විශාලයි. ආයෝජන ඉහල නැංවීම තුලින් අපනයන ආදාම ඉහල නැංවීම මෙන්ම, රුපියල ශක්තිමත් විමද අපේක්ෂා කරනවා. ආයෝජන මණ්ඩලයේ නිළධාරීන් වැඩි කාර්යක්ෂම  තාවයකින් අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කරනු දැකීම ජනාධිපති තුමාගේ අපේක්ෂාව බවද අමුණුගම මහතා පැවසීය.

    ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැදවුම්කරු මහේෂ් අබේගුණවර්ධන මහතා අදහස් දක්වමින්, ආයෝජන මණ්ඩල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් රාජ්‍ය ආයතන තුලින් අනුමැතීන් ලබා ගැනීමේදී  සිදුවන ප්‍රමාදයන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ප්‍රමාදයන් ලෙස සැලකෙන බවත්, පසුගියදා මහනුවර කුරුළු උද්‍යානය සදහා සිදු ප්‍රමාදයත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ  ප්‍රමාදක් ලෙස, ජනගත වූ බවත් සැබැවින්ම එය අප ආයතනයේ ප්‍රමාදයක් නොවන බව සදහන් කළේය.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ශක්තිමත් කරමින් ආර්ථිකයට ශක්තියක් වෙමන් රජය ගෙන යන වැඩපිළිවලට සියළු සේවක සහය ලබා දෙන බවද අබේගුණවර්ධන මහතා පැවසීය.