සෙලෙන්දිව ආයෝජන සමාගමෙන් නව ආයෝජන කළඹ 3ක්

    May, 24, 2021

    රජය සතු සත්කාරක සේවාවන්හි නිරත ආයතන ඇතුළත් ආයෝජනයන් ප්‍රතිව්‍යූහගත කරමින් ඒවායේ කාර්යසාධනය වැඩිදියුණු කිරීමේ අරමුණින් රාජ්‍ය හිමිකාරිත්වයෙන් යුත් දේපළ සංවර්ධන සමාගමක් ස්ථාපිත කිරීම සඳහා 2020 මාර්තු මස 04 දින අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දෙන ලද අනුමැතිය අනුව භාණ්ඩාගාරයට 100%ක් හිමිකාරිත්වය සහිතව සෙලෙන්දිව ආයෝජන සමාගම ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.
    රජය සතු කැන්විල් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම, හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) සමාගම සහ හොටෙල්ස් කලම්බු සමාගම යන සමාගම් මේ වන විට සෙලෙන්දිව ආයෝජන සමාගම යටතට පත් කර ඇත.
    සෙලෙන්දිව ආයෝජන සමාගම විසින් රජය සතුව පවතින හඳුනාගත් ආයතන සහ ආයෝජනයන් සඳහා පහසුකම් සැලසීම පිණිස පුද්ගලික - රාජ්‍ය හවුල්කාරිත්ව පදනම යටතේ ආයෝජන පහසුකම් සැපයීමේ ආකෘතියක් සැලසුම් කර ඇති අතර, ඒ යටතේ 'කොළඹ කොටුව Heritage Square', 'නිශ්චල දේපළ සංවර්ධන' සහ 'රජයට අයත් සත්කාරක අංශය' වශයෙන් ආයෝජන කළඹ තුනක් (03) ක්‍රියාත්මක කිරීමට හඳුනාගෙන ඇත.
    ඒ අනුව, අවශ්‍ය පියවර ගැනීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා පසුගිය දා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.