අඛණ්ඩව අටවෙනි දිනටත් කොළඹ කොටස් පසුබසී. මාස 14 ක් තුළ අවමයට පැමිණෙයි.

    June, 18, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) දිනය තුළ දී ඒකක 20.59 කින් පහළ ගියේය. දිනය අවසානයේ දී එහි අගය ඒකක 6,310.51 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 0.33% ක පහළ යාමක් ලෙසින් වාර්තා වේ.

    තවද S&P SL20 දර්ශකය ද දිනය තුළ දී පහළ යන ප්‍රවණතාවයක් පෙන්නුම් කළේය. දිනය අවසානයේ දී පෙර දිනයට සාපේක්ෂව ඒකක 13.04 ක පහළ යාමක් සනිටුහන් කරමින් එහි අගය ඒකක 3,513.89 ක් ලෙසින් සටහන් විය.

    මේ අතර අද දිනයේ දී කැපී පෙනෙන කරුණ වූයේ දෛනික පිරිවැටුම රුපියල් බිලියනය සීමාව ඉක්මවා යාමයි. ඒ අනුව දෛනික පිරිවැටුම රු. බිලියන 1.29 ක් ලෙසින් සටහන් වූ අතර පසුගිය මැයි 31 දායින් පසුව කොටස් වෙළෙඳපොළේ රුපියල් බිලියනය ඉක්මවූ දෛනික පිරිවැටුමක් වාර්තා වූ පළමු දිනය ලෙසින් අද (18) දිනය මේ අනුව නම් කළ හැකිය.

    2017 අප්‍රේල් 11 වෙනදායින් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ අඩුම අගය ලෙසින් අද දින ගනුදෙනු අවසානයේ දී සටහන් වූ ඒකක 6,310.51 වාර්තා වේ. එසේම සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී පහළ ගියේ නොකඩවා 8 වෙනි දිනයට ය.