අඛණ්ඩව පස්වෙනි දිනටත් කොළඹ කොටස් පහළට

    July, 21, 2017

    අද (21) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,669.51 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 14.96 ක පහළ යාමකි. මේ අතර  S&P SL20 දර්ශකය ද අද දිනය තුළ ඒකක 18.03 කින් පහළ ගොස් ඒකක 3,819.23 ක් ලෙසින් සටහන් විය.

    දිනය තුළ රුපියල් මිලියන 516.91 ක පිරිවැටුමක් වාර්තා වුණු අතර ඒ සඳහා දේශීය හා විදේශීය ආයෝජකයින්ගේ සම ක්‍රියාකාරීත්වයක් දක්නට ලැබුණි. දිනය තුළ දේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 235.18 ක් හා දේශීය විකිණුම් රුපියල් මිලියන 241.22 ක් ලෙසින් වාර්තා වුණි. දිනය තුළ විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 281.58 ක් හා විදේශීය විකිණුම් රුපියල් මිලියන 275.54 ක් ලෙසින් සටහන් විය.

    මෙම සතිය තුළ දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම නම් සතියේ ගනුදෙනු දින 5 පුරාවටම අඛණ්ඩව කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි පහළ යාමක් පෙන්නුම් කිරීමයි. සතිය ආරම්භයේ දී ඒකක 6,766.14 ක් ලෙසින් සටහන් වුණු සියලු කොටස් මිල දර්ශක අගය සතිය අවසානයේ දී දැක්වුණේ ඒකක 6,669.51 ක් ලෙසිනි. මෙය සතිය තුළ ඒකක 96.53 ක හෙවත් 1.43% ක පහළ යාමකි.

     

    කෙසේ වෙතත් මෙම සතියේ දී පසුගිය සතියට සාපේක්ෂව පිරිවැටුම් වටිනාකමේ වර්ධනයක් වාර්තා වී තිබේ. එහිදී මුළු පිරිවැටුම රුපියල් බිලියන 3.66 සිට රු. බිලියන 4.29 දක්වා වැඩි වී ඇත. මෙහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.86 සිට රු. බිලියන 1.61 දක්වා පහළ යාමක් වාර්තා කර ඇති අතර දේශීය විකිණුම් රු. බිලියන  2.44 සිට රු. බිලියන 2.89 දක්වා ඉහළ ගොස් තිබේ. සතිය තුළ විදේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.97 සිට රු. බිලියන 2.67 දක්වා සහ විදේශීය විකිණුම් රු. බිලියන 1.21 සිට රු. බිලියන 1.39 දක්වා ඉහළ ගොස් තිබේ.

    2017 වසර ආරම්භයේ සිට ජූලි 21 දක්වා කාලපරිච්ඡේදය තුළ දී 7.08% කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් ඇත. වසරේ මේ දක්වා S&P SL20 දර්ශකයේ වර්ධනය 9.23% කි.