අගෝස්තු අවසානයේ දී කොළඹ කොටස් හැසිරුණේ මෙහෙමයි

    September, 1, 2017

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2017 වසරේ පළමු මාස 08 තුළ දී සියයට 2.61 ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ. වසර ආරම්භයේ දී ඒකක 6,228.26 ක් ලෙසින් වාර්තා වූ සියලු කොටස් මිල දර්ශක අගය 2017 අගෝස්තු 31 දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6,390.74 ක් ලෙසින් සටහන් වී තිබිණි.

    අගෝස්තු අවසාන සතිය කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සාමාන්‍ය ආකාරයෙන් ගලා ගිය කාලපරිච්ඡේදයක් ලෙස සැලකිය හැකිය. කෙසේවෙතත් මෙම සතිය නිමාවට පත්වූයේ පූර්ව සතිය අවසානයේ දී සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය වූ 6,409.37 ට වඩා ඒකක 18.66 ක් පසුපසට යමිනි.

    මෙම සතිය තුළ වාර්තා වූ සම්පූර්ණ පිරිවැටුමේ වටිනාකම රුපියල් බිලියන 3.24 ක්වූ අතර එය පූර්ව වර්ෂයේ සටහන් වූ ගනුදෙනු පිරිවැටුම වූ රුපියල් බිලියන 2.64 ට වඩා රුපියල් මිලියන 600.96 ක වැඩිවීමකි.

    මෙහිදී දේශීය මිල දී ගැනීම් රුපියල් බිලියන 1.99 ක් හා දේශීය විකිණුම් රුපියල් බිලියන 1.56 ක් ලෙසින් සටහන් විය. විදේශ ආයෝජකයින්ගේ ක්‍රියාකාරීත්වය සලකා බැලීමේ දී මෙම සතිය තුළ දී විදේශීය මිල දී ගැනීම් රුපියල් බිලියන 1.24 ක් හා විදේශීය විකිණුම් රුපියල් බිලියන 1.67 ක් ලෙසින් වාර්තා වී තිබේ.

    මෙම සතියේ දී සිදු වූ ගනුදෙනු අතුරින් අගෝස්තු 29 වන දින සිදුවූ එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කොටස් ගනුදෙනුව විශේෂයෙන් දැක්විය හැකිය. මෙහිදී එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී හි කොටස් මිලියන 8.1 ක් එහි සමූහ සමාගම වන මෙල්ස්ටාකෝප් පීඑල්සී විසින් මිලදී ගනු ලැබූ අතර එහිදී එක් කොටසක් ගනුදෙනු වූයේ රු. 59.50 බැගිනි. මේ සමගම මෙල්ස්ටාකෝප් පීඑල්සී ඇතුළු සිය සම්බන්ධිත පාර්ශවයන් විසින් එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී හි දරනු ලැබූ කොටස් අයිතිය 47.04% සිට 49.038% දක්වා වර්ධනය කර ගනු ලැබීය. පහත දැක්වෙන්නේ මෙම ගනුදෙනුවට පෙර එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කොටස් හිමිකාරීත්වය, මෙල්ස්ටාකෝප් සහ අනුබද්ධ පාර්ශව විසින් දරනු ලැබූ ආකාරයයි.

    පසුගිය සතිය හා සසඳන කල මෙම සතිය අවසානයේ දී කොටස් වෙළෙඳපොළ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.906 සිට රු. ට්‍රිලියන 2.897 දක්වා ද, මිල ඉපැයුම් අනුපාතය 10.40 සිට 10.36 දක්වා ද, ලාභාංශ ඵලදාව 3.08 සිට 3.07 දක්වා ද පහළ ගොස් ඇත.

    මිල ඉපැයුම් අනුපාතය 10 මට්ටමේ පැවතීම කොටස් මිල දී ගැනීමට ඉතා හොඳ කාලයක් ලෙසින් සැලකේ.