අගෝස්තු මාසයේ දී අපනයන ආදායමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම වැඩිවෙයි

    October, 19, 2017

    2017 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2017 අගෝස්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය වාර්තාවෙහි මේ බව දක්වා ඇත. එහි වැඩි දුරටත් මෙසේ සඳහන් වේ.

    අපනයන ආදායම වර්ධනය වුවද, ආනයන වියදම වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් 2017 අගෝස්තු මාසයේ දී වෙළෙඳ හිඟය පුළුල් විය.

    2017 අගෝස්තු මාසයේ දී සංචාරක ඉපැයීම් ඉහළ ගිය ද, පුළුල් වූ වෙළෙඳ හිඟය සමඟ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද අඩුවීම හේතුවෙන් විදේශීය ජංගම ගිණුමේ ක්‍රියාකාරීත්වය දුර්වල විය.

    කෙසේ වෙතත්, විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකමට (Foreign Currency Term Financing Facility) අදාළ දෙවන වාරිකය රජය වෙත ලැබීම මෙන්ම කොළඹ කොටස් හුවමාරුව සහ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ විදේශ විනිමය ලැබීම් හේතුවෙන් ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම සවිමත් විය.