අගෝස්තු 01 සිට ශ්‍රී ලංකාවට එන සංචාරකයින්ට පොදු ප්‍රවාහනය තහනම්

    June, 17, 2020

    එළඹෙන අගෝස්තු 01 දා සිට විදෙස් සංචාරකයින්ට හා විදේශ රටවල සිට එන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කරන බව රජය පවසයි.

    මෙහිදී ශ්‍රී ලංකාව තුළට පැමිණෙන විදෙස් සංචාරකයින් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය කියා සිටියේ, සංචාරකයින් මෙරට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් පිළියෙල කරන ලද විශේෂ මාර්ගෝපදේශයන් යටතේ එකී කටයුතු සිදුකෙරෙන බවයි.

    එහිදී කිසිදු විදෙස් සංචාරකයෙකුට බස් හෝ දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීමට අවකාශයක් නොලැබෙන බව ද ඇය කියා සිටියාය.

    “සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ක්‍රමවේද සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර, මාර්ගෝපදේශයක් දැන් සකස් කර තිබෙනවා. ඒ මාර්ගෝපදේශ, සමස්ත කර්මාන්තයටම අපි දීලා තිබෙනවා. ඒකේදි බලන්නේ සංචාරකයෝ ගැන. නවාතැන් ගන්න තරු පංතියේ හෝටල්, හොම්ස්ටේ, හොස්ටල් ඔක්කොම අප සමඟ ලියාපදිංචි වී ඇති අයට මේ සඳහා සහතිකයක් ගන්න පුළුවන්. එනම් කොවිඩ්වලට අදාළ නියාමනයන් පිළිපදිනවා ද යන්න පිළිබඳ අපි විගණනයක් කරනවා. එය පිටු 90ක විතර ප්‍රමාණයේ මාර්ගෝපදේශ සංග්‍රහයක්. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් අපි උපදෙස් ගත්තා. මේ සඳහා අපි පිටරටවල මාර්ගෝපදේශත් අධ්‍යයනය කළා.“

    “ඒ මාර්ගෝපදේශ අනුව ලියාපදිංචි හෝටල් සඳහා වෙන්කර ගැනීම් (Bookings) ලබා ගන්න පුළුවන් වෙනවා. දැන් තිබෙන මාර්ගෝපදේශ අනුව සංචාරකයෝ ශ්‍රී ලංකාවට එන්න පැය 72කට පෙර PCR test ගන්න ඕනේ. දෙවෙනි පරීක්ෂණය මෙහෙට ආවාම හැමෝම කරන්න ඕනේ.  එහි ප්‍රතිඵල එනතුරු ඔවුන්ට ඉන්න සිදුවෙනවා. දෙවන පරීක්ෂණය නෙගටිව් වුණොත් පමණයි, ඔවුන්ට කොවිඩ් සහතිකලත් නවාතැන් ස්ථානයට යන්න පුළුවන්. ඉන්පසු දවස් 5-7 අතර PCR test එකක් කරනවා. ඒ වගේම දවස් 10-12 අතර පරීක්ෂණ කරනවා. අපේ බලාපොරොත්තුව ජංගම ඒකකයක් හරහා පහසු විදියට මෙම පරීක්ෂණ සිදුකරන්න.“

    මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ බස් රථ හෝ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවාවන් යොදා ගැනීමට, විදෙස් සංචාරකයින්ට කිසිසේත් අවසරයක් නොමැති බවයි.

    “අපි ආගමන විගමන දෙපාර්තමේන්තුව සමඟ කතා කළා. කලින් තිබුණු ඇවිල්ලා වීසා ගන්න ක්‍රමයක්. ඒක දැන් නතර කරලා. ඉදිරියේ දී ගුවන්තොටුපළ විවෘත කළ දවසට, යම් සංචාරකයෙකුට එන්න අවශ්‍ය නම් ඔවුන් ඔන්ලයින් වීසා අයදුම් කළ යුතු වෙනවා. මේ මාර්ගෝපදේශ අනුව ඒ අයදුම්පතේ කලින් අහපු නැති ප්‍රශ්න කිහිපයක් අපට අහන්න වෙනවා. එයින් එක් ප්‍රධාන දෙයක් තමයි සංචාරකයාගේ itinerary එක, සැලස්ම මොකක්ද, තියෙන booking  එක, එය නිශ්චිතව ලබා දිය යුතුයි. ඔවුන්ට බස්වල කෝච්චිවල යන්න බැහැ. පොදු ප්‍රවාහන සේවය යොදා ගන්න බැහැ. ඔවුන්ගේ ප්‍රවාහනය සැලසුම් කරලා හෝටලයෙන් සංවිධානය කළ යුතුයි. සංචාරක නියෝජිතයෙකුට වුවත් ඒ වෙනුවෙන් කටයුතු කළ හැකියි. වීසා අයදුම්පතේ අපි දානවා, සහතිකලත් හෝටල් සහ සහතිකලත් සංචාරක නියෝජිතයින් පිළිබඳ විස්තර. එම නිසා සංචාරකයින්ට සෘජුවම හෝටලය හෝ නියෝජිතයා සමඟ සම්බන්ධ විය හැකි වෙනවා.“