අටවන දිනයේදී විදේශීය ශුද්ධ මිලදී ගැනීම් සෘණ වෙයි

    March, 14, 2014

    පිට පිටම දින හතක් වාර්තා වූ ශුද්ධ විදේශීය මිලදීගැනීම් වෙනස් වෙමින් අද දිනයේදී කොළඹ කොටස් වෙළඳ පොළේ ශූද්ධ විදේශීය විකුණුමක් වාර්තා වූ අතර කොටස් වෙළඳ පොළ ගනුදෙනු පහළ වැටුණි.

    මේ අනුව, සමස්ත මිල දර්ශකය ඒකක 17.71 කින් පහළ ගොස් ඒකක 5,896.23 ක් වෙද්දී එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 15.02 කින් පහළ ගොස් ඒකක 3,207.11 ක් විය.

    දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 251.7 ක්වූ අතර කොටස් මිලියන15.4 ක් ගනුදෙනු වී තිබේ.

    අද ජෝන් කීල්ස් කොටසක් රුපියල් 2.80 කින් පහළ ගොස් රුපියල් 220 ක්ද, ලංකා දුම්කොළ සමාගමේ කොටසක් රුපියල් 16.30 කින් පහළ ගොස් රුපියල් 1095 ක්ද, කාර්සන් කම්බබැච් කොටසක් රුපියල් 9.70 කින් පහළ ගොස් රුපියල් 340.30 ක්ද වූ අතර නෙස්ලේ කොටසක් රුපියල් 24.90 කින් පහළ ගොස් රුපියල් 1975 ක්වී ඇත.

    ලයන් බෘවරි කොටසක මිල අද රුපියල් 8.90 කින් ඉහළ ගොස් රුපියල් 394 ක් විය.

    මේ අතර, අද ගිවිසගත් ගනුදෙනු (ක්‍රොසින්ග්) දෙකක් වාර්තාවූ අතර මෙහිදී ජෝන් කීල්ස් සමාගම එකක් රුපියල් 220 බැගින් සහ රුපියල් 220.50 බැගින් කොටස් 300,000 ක් අලෙවි කළේය. එහි අලෙවි වටිනාකම රුපියල් මිලියන 66.1 ක්වූ අතර එය සමස්ත වෙළඳ පොළ පිරිවැටුමෙන් සියයට 26 ක ප්‍රමාණයකි.

    අද වැඩිපුරම ගනුදෙනු වූයේ ආසිරි සර්ජිකල්, නේෂන් ලංකා ෆයිනෑන්ස් සහ ලංකා සෙන්චරි ඉන්වෙස්ට්මන්ට් යන කොටස් වේ.

    විදේශීය ආයෝජකයින් අද රුපියල් මිලියන 100 ක් වටිනා කොටස් මිලදීගත් අතර රුපියල් මිලියන 120 ක් වටිනා කොටස් විකුණා දැමීය.

    මේ අනුව, වාර්තා වූ ශුද්ධ විදේශීය විකුණුම්වල වටිනාකම රුපියල් මිලියන 20 කි.

    විදේශීය ආයෝජකයින් සමස්ත වෙළඳ පොළ ක්‍රියාකාරීත්වයෙන් සියයට 44 කට දායකත්වය ලබාදුන්නේය.

    මේ අතර, Bansei Royal Resorts Hikkaduwa Limited සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට අද දැනුම් දුන්නේ සමාගම කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කරන බවයි.