අඩු පොලී අවස්ථාව වැඩි කරමින් උද්ධමනය තවත් පහළට

    March, 1, 2014

    මෙරට නවතම උද්ධමන අංකය තවදුරටත් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මේ අනුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන උද්ධමනය 2014 ජනවාරි පැවති සියයට 4.4 ක මට්ටමේ සිට පසුගිය පෙබරවාරි මාසයේදී සියයට 4.2 ක් දක්වා පහළ බැස තිබේ.

    මෙය පිට පිටම මෙරට උද්ධමනය පහළ වැටුණු හතරවන මාසය වන අතර  මහ බැංකුව පවසන්නේ  පෙබරවාරි මාසයේදී රතු ලූණු, ලොකු ලූණු, අර්තාපල්, බිත්තර ඇතුළු බොහෝ එළවළුවල මිල ගණන් පහළ ගියද සහල්, පොල්, කුකුළු මස්, කිරිපිටි, සමහර මත්ස්‍ය සහ පළතුරු මිල ගණන් ඉහළ ගිය බවයි.

    මීට අමතරව, ආහාර නොවන කාණ්ඩයේ නිවාස, ජලය, විදුලිය, ගෑස්, අනිකුත් ඉන්ධන උප කාණ්ඩයන්හි මිල ගණන් පෙබරවාරියේදී අඩුවී ඇත.

    මෙවැනි තත්ත්වයක් තුළ ආර්ථික විශ්ලේෂකයින් පුරෝකතනය කරන්නේ උද්ධමනය මේ ආකාරයෙන් අඩුවීම නිසා මෙරට පොලී අනුපාත තවදුරටත් පහළ යෑමේ අවස්ථාවක් උදාවී තිබෙන බවයි.