අතුරුගිරිය පෝරේ අධිවේගී පිවිසුමේත් නව නගරයක් ?

    May, 7, 2014

    පිටත වටරවුම් මාර්ගයේ කොට්ටාවේ සිට කඩුවෙල කොතලාවල දක්වා කොටස මේ වනවිට විවෘත කර තිබුණත් කොතලාවල පිවිසුම යොදා තිබෙන්නේ තාවකාලික පිවිසුමක් ලෙසත් අතුරුගිරිය පොරේ වෙල්යාය පිහිටි ස්ථානයේ නව පිවිසුමක් පැමිණෙන බවත් අප මෙයට පෙර වාර්තා කළේය.

    මේ අනුව, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මේ වනවිට අතුරුගිරිය පොරේ වෙල්යායේ කොටසක් ගොඩ කරමින් එම නව පිවිසුම ගොඩනැගීම ආරම්භ කර ඇත.

    එම ස්ථානයට අප ගියවිට දකින්නට ලැබුණේ මෙහි ඉදිකිරීම් දිවා රෑ දෙකේම සිදුවන බවයි.

    එම වෙල්යායෙන් විශාල කොටසක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අත්පත් කරගෙන තිබෙන බවත් මේ නිසා, පිවිසුමකට වඩා සංවර්ධනයක් මෙහි සිදුවනු ඇති බවත් ප්‍රදේශවාසීන් අපට වැඩිදුරටත් පැවසීය. ඔවුන් කියා සිටියේ අතුරුගිරිය බස් නැවතුම්පොළ පවා මෙම ස්ථානයට රැගෙන යන බවට රාවයන් පළවන බවයි.

    මේ පිළිබඳව අප මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානී ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ මුලින්ම යොදන්නේ පිවිසුම් ස්ථානයක් බවත් ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව පසුව සලකා බලන බවයි.

    ඉදිරියේදී කොතලාවල තාවකාලික පිවිසුම ඉවත් කර කඩුවෙල පිවිසුම කැළණි ගඟ හරහා ඉදිකරන දැවැන්ත පාලම මතට රැගෙන යාමට සැලසුම් කර තිබේ.

    කොට්ටාවෙන් ආරම්භ වන පිටත වටරවුම් මාර්ගයේ වැඩ සම්පූර්ණයෙන්ම අවසන්වූ පසුව එය කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ වේ.