අද කොටස් පොළේ රැළි මෙන්න

    March, 13, 2014

    අද කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු ඒකක 19.58 කින් පහළ ගොස් සමස්ත මිල දර්ශකය ඒකක 5,913.94 ක්වූ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඒකක 14.16 කින් පහළ ගොස් ඒකක 3,222.13 ක් විය.

    කොටස් මිලියන 27.4 ක් ගනුදෙනු වූ අතර පිරිවැටුම රුපියල් මිලියන 336.4 කි.

    පිට පිටම හත්වන දිනයටත් අද කොළඹ කොටස් වෙළඳ පොළේ ශුද්ධ විදේශීය මිලදී ගැනීමක් දකින්නට ලැබුණු අතර ශුද්ධ විදේශීය කොටස් මිලදී ගැනීමේ වටිනාකම රුපියල් මිලියන 09 කි.

    මෙහිදී, විදේශිකයින් විසින් රුපියල් මිලියන 183 ක කොටස් මිලදීගත් අතර රුපියල් මිලියන 174 ක කොටස් විකුණා දැමීය.

    ටෙක්ස්චර්ඩ් ජර්සි සහ ජෝන් කීල්ස් යන සමාගම්වල ශුද්ධ විදේශීය මිලදී ගැනීමක් වාර්තා වෙද්දී කොමර්ෂල් බැංකුවේ කොටස් වෙනුවෙන් වාර්තා වූයේ ශුද්ධ විදේශීය විකිණීමකි.

    අද දිනයේදී සොෆ්ට්ලොජික් රුපියල් මිලියන 115 කද, ජෝන් කීල්ස් රුපියල් මිලියන 43 කද, ආසිරි සර්ජිකල් රුපියල් මිලියන 23 කද කොටස් ගනුදෙනු වූ අතර ගිවිසගත් ගනුදෙනු (ක්‍රොසින්ග්) එකක් වාර්තා විය.

    කොටසක් රුපියල් 11 ක් බැගින් කොටස් මිලියන 9.9 ක් ගනුදෙනු කරමින් සොෆ්ට්ලොජික් මෙම ගිවිසගත් ගනුදෙනුව (ක්‍රොසින්ග්) සිදුකළ අතර එහි වෙළඳ පොළ වටිනාකම රුපියල් මිලියන 109 කි.

    අද දිනයේදී ලංකා දුම්කොළ සමාගමේ කොටසක මිල රුපියල් 28.90 කින් පහළ ගොස් කොටසක් රුපියල් 1111.10 ක් වෙද්දී ජෝන් කීල්ස් කොටසක මිල රුපියල් 1.50 කින් පහළ ගොස් රුපියල් 223 ක් විය. මීට අමතරව, චෙව්රන් ලුබ්රිකන්ට් කොටසක මිල රුපියල් 1.70 කින් පහළ ගොස් රුපියල් 270 ක්වී තිබේ.

    මේ අතර, සී.ටී. හෝල්ඩින්ග්ස් සමාගමේ කොටසක් රුපියල් 4.90 කින් ඉහළ ගොස් රුපියල් 135 ක් වුණි.