අද කොටස් වෙළෙඳපොළෙන් ත්‍රිත්ව ශතකයක්. සියලු කොටස් ඒකක 9,000 පසු කරයි

    August, 12, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව 11 වෙනි දිනයටත් ඉහළ යමින් අද (12) දිනය තුළ ඒකක 321.31 (3.69%) ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කරන ලදී. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,027.48 ක් ලෙසින් වාර්තා වූ අතර එය 2022 මාර්තු 31 දිනෙන් පසු ඒකක 9,000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව වේ.

    මේ අතර අද දිනයේ දී රු. බිලියන 6.33 ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි. එහිදී වැඩිම දායකත්වයක් ලංකා IOC සමාගමෙන් ලැබී තිබුණු අතර රු. බිලියන 1.43 ක වටිනාකමකින් යුතු එම සමාගමේ කොටස් ප්‍රමාණයක් අද (12) දින ගනුදෙනු වී තිබුණි.මීට අමතරව එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. මිලියන 760.43 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් රු. මිලියන 339 ක් හා හේලීස් රු. මිලියන 326.62 ක් ලෙසින් දෛනික පිරිවැටුමට වැඩි දායකත්වයක් ලබා දුන් සෙසු සමාගම් අතර පෙරමුණේ විය.

    මේ අතර මෙල්ස්ටාකෝප් සමාගමේ කොටස් මිලියන 5.27 ක් ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් ලෙසින් අද දින හුවමාරු වූ අතර එයින් රු. මිලියන 280 ක පිරිවැටුමක් ජනනය වී තිබුණි. තවද කහවත්ත වැවිලි සමාගම (රු. මි. 27), ජෝන් කීල්ස් හෝල්ඩිංස්ග් (රු. මි. 64) හා හේලීස් (රු. මි. 22) යන සමාගම්වලින් ද අද දිනයේ දී ගිවිසා ගනු ලැබූ ගනුදෙනු වාර්තා විය.

    ලංකා IOC, හේලීස්, රිචඩ් පීරිස්, මෙල්ස්ටාකෝප් සහ LOLC හෝල්ඩිංග්ස් යන සමාගම්වලින් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට අද දිනයේ දී ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.