අද දවසේ කොටස් වෙළෙඳපොළට ආ දැවැන්තයා – මෙල්ස්ටාකෝප්

    December, 30, 2016

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන මෙල්ස්ටාකෝප් ලිමිටඩ් අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වන ලදී. මේ අනුව එහි ද්විතීයික කොටස් වෙළෙඳ ගනුදෙනු අද (30) ආරම්භ විය.

    මෙල්ස්ටාකෝප් සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 1,165,397,072 ක් කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන පුවරුවේ, විවිධාංගීකරණය කරන ලද සමාගම් කාණ්ඩය යටතේ මේ අනුව ලැයිස්තුගත වේ.

    මෙල්ස්ටාකෝප් ලිමිටඩ් යනු මෙරට ප්‍රධාන පෙළේ සමාගම් රැසක මවු සමාගමයි. ඩිස්ටිලරීස්, ලංකා බෙල්, කොන්ටිනෙන්ටල් ලංකා ඉන්ෂුවරන්ස්, මෙල්ස්ටා රීගල් ෆිනෑන්ස්, බලංගොඩ වැවිල් සමාගම හා බ්‍රවුන්ස් බීච් හෝටලය, මෙල්ස්ටාකෝප් සෙවණ ලබන සමාගම් වේ.

    මීට අමතරව එයිට්කන් ස්පෙන්ස් සහ මැඩොල්සිම වැවිලි සමාගමේ කොටස් හිමිකාරීත්වයක් ද මෙල්ස්ටාකෝප් ලිමිටඩ් සතුවේ.

    මීට පෙර කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක්ව තිබූ ඩිස්ටිලරීස් සමාගමේ කොටස් හිමියන් හට, විශේෂ යෝජනාවක් මඟින් සිය කොටස් මෙල්ස්ටාකෝප් සමාගමේ කොටස් බවට පරිවර්තනය කිරීමට අවස්ථාව ලැබිණි. ඒ අනුව සිදුවූ ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙසින් මෙල්ස්ටෝකෝප් ලිමිටඩ්, සමූහයේ මවු සමාගම බවට පත් කෙරිණි.

    මෙරට සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා, මෙල්ස්ටාකෝප් සමූහයේ සභාපතිවරයා වන අතර ප්‍රමුඛ පෙළේ බැංකුකරුවකු වන අමිත ගුණරත්න මහතා සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා වේ.

    රුපියල් බිලියන 71 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන මෙල්ස්ටාකෝප් ලිමිටඩ්, කොළඹ කොටස් වෙළෙඳපාළ ඉහළම ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන සමාගම් අතර 8 වන ස්ථානය හිමි කර ගෙන තිබේ. සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් 2.82% කට එය හිමිකම් කියනු ලබයි.

    මෙල්ස්ටාකෝප් ලිමිටඩ් 2016 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වූ අවසාන සමාගමයි.