අද දින කොටස් වෙළෙඳපොළ් කැපී පෙනෙන ඉහළ යාමක්

    July, 17, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල මට්ටම් හි කැපී පෙනෙන ඉහළ යාමක් අද (17) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 49.26 කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 6,179.88 ක් ලෙසින් සටහන් වූයේ පෙර දිනයට සාපේක්ෂව 0.80% ක වර්ධනයක් වාර්තා කරමිනි.

    එසේම S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 42.48 ක වර්ධනයක් වාර්තා කළේය. මෙය පෙර දිනයට සාපෙක්ෂව 1.27% ක ඉහළ යාමක් වන අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 3,378.55 ක් ලෙසින් සටහන් විය.

    රුපියල් මිලියන 454.84 ක පිරිවැටුමක් අද දින ගනුදෙනුවලින් වාර්තා විණි. මෙහිදී crossing ගනුදෙනු 4 ක් වාර්තා වූ අතර කොමර්ෂල් බැංකුව රු. මිලියන 20.51 ක්, සම්පත් බැංකුව රු. මිලියන 28.38 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 44.7 ක් හා ටීජේ ලංකා රු. මිලියන 63.98 ක් ලෙසින් එම crossing ගනුදෙනුවලින් පිරිවැටුම් වාර්තා වී තිබුණි.

    මේ අතර පසුගිය ජූලි 10 දින සිට අද (17) දින දක්වා කාලපරිච්ඡේදය තුළ වූ ගනුදෙනු දින 6 තුළ දී සමස්තයක් ලෙසින් ඒකක 102.6 ක ඉහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වී තිබේ. එසේම මෙම ගනුදෙනු දින 6 තුළ දී කොටස් සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වී ඇත්තේ එක් දිනක් (ජූලි 16) පමණක් තුල දී වීම විශේෂත්වයකි.