අද වෙන්දේසියේ දී බිල්පත් පොළිය පහළට. ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා පස් ගුණයක ඉල්ලුමක්

    June, 26, 2019

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (26) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතිකවල කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ.

    මෙහිදී දින 91 බිල්පත් පොළිය 8.38% සිට 8.24% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 8.60% සිට 8.49% දක්වා සහ දින 364 බිල්පත් පොළිය 8.86% සිට 8.70% දක්වා පහළ ගොස් තිබේ.

    මෙම වෙන්දේසිය හරහා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මුළු භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම රුපියල් මිලියන 16,500 ක් වේ.

    වෙන්දේසිය සඳහා ලැබී තිබුණු සමස්ත ලංසු ප්‍රමාණය රුපියල් මිලියන 80,525 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.