අද සිට පිටකොටුවට බැංකොක් Damnoen Saduak සිරි

    August, 22, 2014

    විදේශීය සංචාරකයින්ට දේශීය භාණ්ඩ අලෙවි කිරීමේ මූලික අරමුණෙන් නිර්මාණය කළ පිටකොටුව බැස්ටියන් මාවතේ වෙළඳ සැල් 92 කින් සමන්විත “පාවෙන වෙළඳ පොළ“ (Floating Market) අද පස්වරුවේදී විවෘත කෙරේ.

    නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ පිටකොටුව බැස්ටියන් මාවතේ ප්‍රධාන දුම්රියපොළ සහ මධ්‍යම බස් නැවතුම්පොළ පිහිටි ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ඉදිකළ මෙම වෙළඳ පොළ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කරන බවයි.

    “පාවෙන වෙළඳ පොළ“ (Floating Market) ප්‍රධාන වෙළඳ සැල් 92 කට අමතරව තවත් පාවෙන වෙළඳ සැල් 25 ක් සහ ඉහළ තත්ත්වයේ පාවෙන සුපිරි අවන්හලකින්ද සමන්විතය.

    “මෙම වෙළඳ පොළට භාණ්ඩ මිලදී ගැනීමට යාමට සහ ඒමට බෝට්ටු සේවාවක් යොදවනවා. විශේෂයෙන්ම මෙයින් ඉලක්ක කරන්නේ සංචාරකයින්. මේ නිසා, විදේශීය සංචාරකයින්ට අවශ්‍ය දේශීය වැදගත් කමක් තිබෙන භාණ්ඩ අලෙවි කිරීම සඳහා මෙම වෙළඳ පොළේ ප්‍රමුඛත්වය ලබාදෙනවා. මෙම ව්‍යෘපෘතියේ නිර්මාණ සැලසුම නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදුකළ අතර ඉදිකිරීම් සිදුකළේ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින්.“ යනුවෙන් ව්‍යාපෘතිය භාර ගෘහ නිර්මාණ ශිල්පිනී, තුෂාරි කාරියවසම් මහත්මිය අප සමග සඳහන් කළාය.

    මෙම වෙළඳ පොළ තුළ සන්නාමකරණය කළ භාණ්ඩ (Branded Products) අලෙවි කිරීම සඳහා වෙනමම අලෙවි සැල් සහ ආහාර පාන අලෙවි කරන ස්ථාන (Food Courts) ඉදිකර තිබේ.

    ව්‍යාපෘතියට වාහන අංගන දෙකක්ද අයත් වන අතර ඒවායේ වාහන 80 ක් පමණ ගාල් කිරීමේ පහසුකම් ඇත.

    ලෝකයේ පාවෙන වෙළඳ පොළවල් (Floating Market) වැඩිපුරම තිබෙන රටවල් ලෙසින් සැලකෙන්නේ තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය යන රටවල්ය. මෙම වෙළඳ පොළවල් සංචාරක ආකර්ශනය දිනාගැනීම අරමුණු කරගනිමින් පවත්වාගෙන යන්නේ එම රටවලට ආවේණික භාණ්ඩ අලෙවි කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමිනි.

    තායිලන්තයේ Damnoen Saduak පාවෙන වෙළඳ පොළ ලෝකයේ ප්‍රමුඛතම පාවෙන වෙළඳ පොළක් ලෙස සැලකේ.p01p02p04p05
    සේයාරූ අනුග්‍රහය – රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    පහත දැක්වෙන්නේ තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි Damnoen Saduak පාවෙන වෙළඳ පොළයි.