• Ada Derana BIZ Sinhala
  • cultural
  • educational
  • Iran
  • sri lanka

අධ්‍යාපනික සහ සංස්කෘතික හුවමාරුව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉරානයේ දී

September, 30, 2022

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සහය සහිතව, අධ්‍යාපනික හා සංස්කෘතික හුවමාරුව පිළිබඳව දැනුවත්කිරීමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් 21වැනි දින ටෙහෙරානයේ පිහිටි සිය චාන්සරි පරිශ්‍රයේදී සංවිධානය කළේ ය. ඉරානයේ විශ්වවිද්‍යාල, විදේශ කටයුතු අමාත්‍යංශය, උසස් අධ්‍යාපන ආයතන, මාධ්‍යායතන සහ අනෙකුත් රේඛීය ආයතන නියෝජනය කළ නියෝජිතයන්45 දෙනෙකු පමණ මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.ශ්‍රී ලංකාව සහ ඉරානය අතර අධ්‍යාපනික හා සංස්කෘතික තොරතුරු හුවමාරු කරගැනීම සහ ඊට අදාළ ක්ෂේත්‍රවල පවතින අවස්ථා හුවමාරු කරගැනීම සඳහා වේදිකාවක්  නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.

සමාරම්භක දේශනය පැවැත්වූ ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ජී.එම්.වී. විශ්වනාත් අපොන්සු මහතා, සම්භාවනීය අමුත්තන් පිළිගත් අතර, ශ්‍රී ලංකාව සහ ඉරානය අතර අධ්‍යාපනික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා තානාපති කාර්යාලය සමඟ අත්වැල් බැඳගැනීමට ඔවුන් දක්වන උනන්දුව අගය කළේය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා සංස්කෘතික ක්ෂේත්‍රවල පවතින අවස්ථා පිළිබඳව අවධාරණය කළ තානාපතිවරයා, දෙරටේ සිසුන්, ශාස්ත්‍රඥයන්, විද්වතුන් සහ අනධ්‍යයන වෘත්තිකයන් අතර දැනුවත් කිරීමේ වැඩසටහන් වැඩිදුර පැවැත්වීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්, අණ දෙන නිළධාරී එච්.බී.එච්. දීෂානා මහතා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා, සුදුසුකම් ලැබීමේ නිර්ණායක, අයදුම්කිරීමේ ක්‍රියා පටිපාටිය,  පාඨමාලා කාලසීමාව, විදේශීය සිසුන් සහ නිළධාරි ශිෂ්‍යභටයන් බඳවාගැනීම සහ අනෙකුත් අදාළ තොරතුරු ඇතුළත් කරුණු පිළිබඳව දළ විශ්ලේෂණයක් ලබාදෙමින් අතථ්‍ය අයුරින් ඉදිරිපත් කිරීමක් සිදු කළේ ය.විශ්ව විද්‍යාලයේ අධ්‍යයන  හුවමාරු වැඩසටහන යටතේ, මුදල් ගෙවියයුතු පාඨමාලාවලට අමතරව ශිෂ්‍යත්ව සහිත උපාධි පාඨමාලා සඳහා අයදුම්කිරීමට විදේශීය සිසුන්ට අවස්ථාව පවතින බවද ඔහු සඳහන් කළේය.

ටෙහෙරාන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපපීඨාධිපති මහාචාර්ය රූඩාබේ බහ්රාම් සොල්තානි මහත්මිය ඉරානයේ පිළිගත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය සහ ඖෂධ ක්ෂේත්‍රවල විදේශීය සිසුන් සඳහා පවතින අවස්ථා සහ අපේක්ෂා අවධාරණය කරමින් "පර්සියානු වෛද්‍ය ගුරු කුළය" යන්නෙන් පුළුල් ඉදිරිපත් කිරීමක් සිදු කළාය. තවද,  ඉරානය සහ ශ්‍රී ලංකාව අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ජාල සහ හවුල්කාරිත්වයන් ගොඩනැගීමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද එතුමිය අවධාරණය කළාය.

අධ්‍යයන අංශය නියෝජනය කළ  ඉරාන විද්වතුන් කිහිපදෙනෙකු, ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පවතින උපාධි පාඨමාලා පිළිබඳ තොරතුරු ඉරානයේ විශ්ව විද්‍යාල, උසස් විද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන අතර බෙදාගැනීමටත්, එමඟින් මේ සඳහා උනන්දුවක් දක්වන සිසුන්ට ශ්‍රී ලංකාවේ සුදුසු උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ඉඩහසර ලබා දීමට අවස්ථාව සලසන බවත් සඳහන් කළහ. ඊට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා තානාපතිවරයා,ඔවුන්ගේ අවංක උනන්දුව අගයකළ අතර,ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය ද අපේක්ෂා කළේය.

තවද, ශ්‍රී ලංකාවේ සහ ඉරානයේ උසස් අධ්‍යාපන ආයතන තුළ තමන් රුචිකත්වයක් දක්වන උපාධි පාඨමාලා සඳහා ඇතුළත්වීමට කැමති සිසුන්ට පහසුකම් සැලසීමට ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සැමවිටම සූදානම් බවද එතුමා ප්‍රකාශ කළේය. මෙම වැඩසටහන සංවිධානය කිරීම සම්බන්ධයෙන් තානාපතිවරයාට සහ කාර්ය මණ්ඩලයට  ස්තුතිය පුදකළ ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශයේ විශේෂඥයකු වන මොහොමඩ් ඩෙල්දාරි මහතා, ඉරාන රජයේ උපරිම සහයෝගය ලබාදෙන බවට සහතිකවිය.

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්වතකු වන ආචාර්ය සමීර් කරීම් මහතා මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ ආරාධිත කථිකයා විය. "ශ්‍රී ලංකා-ඉරාන සබඳතා" කෙරෙහි අවධානය යොමුකළ එතුමා, ඓතිහාසික දෘෂ්ඨි කෝණයකින් යුක්තව සහයෝගීතාවයේ  සියලු ක්ෂේත්‍ර ආවරණය කළේය.