අධිකරණ තීන්දුවෙන් පසු ඉන්දීය වාහන මිල ඉහළට ?

    March, 31, 2017

    පසුගිය බදාදා (29) ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රථ වාහන සම්බන්ධයෙන් දෙන ලද ඓතිහාසික තීන්දුවත් සමඟම නව වායු විමෝචන පරිසාධන මට්ටම් සමඟ වෙළෙඳපොළට නිකුත් කරන මෝටර් රථවල මිල ඉහළ යාමක් සිදුවනු ඇතැයි වාර්තා වේ.

    වායු දූෂණය සම්බන්ධයෙන් ඉන්දීය නගර බොහොමයකම පනවා ඇති නීති අලුත් කර ඇති අතර මේ අනුව තවදුරටත් වායු විමෝචන පරිසාධන මට්ටම BS-III මට්ටමේ පවතින් මෝටර් රථ ඉන්දියාව තුළ අලෙවි කිරීම හා ලියාපදිංචි කිරීම මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයත් සමගම තහනම් වී තිබේ. මෙම නියෝගය හෙට (අප්‍රේල් 01) දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

    මේ අනුව හෙට සිට මෝටර් රථවල වායු විමෝචන පරිසාධන මට්ටම BS-IV විය යුතු අතර 2020 වසර වන විට එය BS-VI පරිසාධන මට්ටම කරා එළඹීම ඉන්දියාවේ අරමුණයි.

    BS-III මට්ටමේ වාහනයකින් ඉන්ධන කිලෝග්‍රෑමයකට කාබන් මොනොක්සයිඩ් ග්‍රෑම් 2.30 ක ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙන බවත් BS-IV මෝටර් රථවලින් එලෙස මුදා හැරෙන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය ඉන්ධන කිලෝවකට ග්‍රෑම් 1 ක් බවත් සඳහන් වේ.

    මෙම තත්ත්වය තුළ දැනට නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථවල ඉන්ධන පරිසාධන මට්ටම් ඉහළ නැංවීමේ දී පෙට්‍රල් රථ සඳහා ඉන්දීය රුපියල් 20,000 – 25,000 අතර මුදලක් ද, ඩීසල් වාහන සඳහා ඉන්දීය රුපියල් 100,000 ක පමණ මුදලක් ද අමතරව වැයවන බව වාර්තා වේ.

    BS-III මට්ටමේ මෝටර් රථ ලක්ෂ 8 ක් පමණ හා මෝටර් සයිකල් ලක්ෂ 6 ක් පමණ මේ වන විට අලෙවි කිරීමට නොහැකි අවදානමකට ඉන්දීය මෝටර් රථ නිෂ්පාදන සමාගම් මුහුණ පා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.