අධිවේගයේ ජා-ඇල අන්තර් හුවමාරුවට එන වාහන වැඩිවෙයි. නව මංතීරු දෙකකට කැබිනට් අනුමැතිය. වියදම රු. මිලියන 285 යි

    June, 6, 2019

    කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ අන්තර් හුවමාරුවෙහි රථ වාහන ඇතුලුවීමේ හා පිටවීමේ මංතීරු දෙක බැගින් ඇත. මෙම මංතීරුවලින් එකක් අතින් ගාස්තු එකතු කිරීමේ (Manual Toll Collection - MTC) කවුළුවක් සහිතවද අනෙක් මංතීරුව විද්‍යුත් ගාස්තු අය කිරීමේ (Electronic Toll Collection - ETC) කවුළුවක් සහිතවද භාවිතයට වෙන් කර තිබේ.

     

    වර්තමානය වන විට ජා-ඇළ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය සීඝ්‍ර ලෙස ජනාකීර්ණ වීම හේතුවෙන් ජා-ඇළ අන්තර් හුවමාරුව භාවිත කරනු ලබන රථවාහන සංඛ්‍යාව අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් ඇති අතර, කාර්ය බහුල වේලාවන්හිදී එම අන්තර් හුවමාරුවෙහි දැඩි වාහන තදබදයක් දක්නට ලැබේ. මෙම කරුණු සැලකිල්ලට ගෙන, ජා-ඇළ අන්තර් හුවමාරුවෙහි ඇතුලුවීමේ හා පිටවීමේ අතිරේක මංතීරුව බැගින් ඉදි කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබේ.

     

    ඒ අනුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයෙහි ජා-ඇළ අන්තර් හුවමාරුවෙහි දකුණු දෙසට දිවෙන රථවාහන සඳහා වන ඇතුල්වීමේ හා පිටවීමේ බෑවුම් මාර්ගයන්හි අතින් ගාස්තු එකතු කි‍රීමේ කවුළු පහසුකම්ද සහිතව අතිරේක මංතීරු ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 285.4ක මුදලකට සීමාසහිත ආර්.ආර්. කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.