අධිවේගී මාර්ගවල සියලු අන්තර් හුවමාරුවලින් කාඩ්පත් ගෙවීම් පහසුකම අද සිට

    May, 21, 2025

    අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.

    ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා debit සහ credit කාඩ්පත් මෙන්ම QR කේත මඟින් ගෙවීම් කටයුතු සිදුකිරීමට හැකියාව හිමි වනු ඇත.

    නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ සලසා ඇති බවය.

    අන්තර් හුවමාරු 35ක් සහ පිටවීම් ගේට්ටු 119ක් තුළ අදාළ සේවා පහසුකම් අද සිට ක්‍රියාත්මක වන බව සඳහන්ය.

    රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් රටතුළ ස්ථාපිත කිරීම උදෙසා නව තාක්ෂණය යොදා ගනිමින් ජන ජීවිත පහසු හා වේගවත් කිරීම මුලික කරගනිමින් ඉදිරිපත් කළ වැඩ පිළිවෙලට අනුව මෙය ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.