අධිවේගී මාර්ග වලට සමගාමී K3 නගර සැලසුම මෙන්න

    March, 28, 2014

    මෙරට අධිවේගී මාර්ග පද්ධතියට සම්බන්ධ වන ලෙස සිදුකරන “කේ ත්‍රී“ (K3) නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අළුතින්ම නගරයක් ඉදිකරන්නේ කොට්ටාව අධිවේගී පිවිසුම ආසන්නයේ පමණක් බව අනාවරණය වේ.

    මෙම ව්‍යාපෘතියට ඉංග්‍රීසි “කේ“ අකුරින් පටන් ගන්නා නගර තුනක් වන කොට්ටාව, කඩුවෙල සහ කඩවත අයත් වන නිසා එය “කේ ත්‍රී“ (K3) නගර සංවර්ධන ව්‍යාපෘතිය ලෙසින් නම්කර තිබේ.

    මේ පිළිබඳව අප සමග නාගරික සංවර්ධන අධිකාරියේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ- සැලසුම්, ප්‍රියානි නවරත්න මහත්මිය අදහස් දැක්වූයේ මෙසේයි.

    “මෙම නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අළුත්ම නගරයක් ගොඩනගන්නේ කොට්ටාව අධිවේගී පිවිසුම ආසන්නයේ පමණයි. දැනට තිබෙන කඩුවෙල නගරය සහ කඩවත නගරය මෙම ව්‍යාපෘතිය සඳහා යොදාගෙන ඒවා සංවර්ධනය කරනවා.“

    මේ වනවිටත් මෙම ව්‍යාපෘතිය යටතේ කඩවත නගරයේ සංවර්ධන කටයුතු ආරම්භ කර ඇත.

    කොට්ටාව, කඩුවෙල, සහ කඩවත යන නගර දකුණු අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය සහ නුවර අධිවේගී මාර්ගයට සම්බන්ධ නගර වන අතර මේවා කොළඹින් බැහැරව තිබෙන පහසුකම් අධික නගර ලෙසින් සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.