අධිසුඛෝපභෝගී ‘Genting Dream‘ කොළඹ වරායට පැමිණෙයි

    November, 4, 2016

    ලොව විශාලතම මගී නෞකාවක් වන, අධිසුඛෝපභෝගී Genting Dream නෞකාව පසුගිය ඔක්තෝබර් 31 වැනි දින කොළඹ වරායට පැමිණෙන ලදී. මඟීන් 2,000 කට වැඩි පිරිසකට ගමන් කළ හැකි මෙම නෞකාව අද වන විට ලොව තිබෙන දෙවැනියට විශාලතම සු‍ඛෝපභෝගී මඟී නෞකාව ලෙසින් සැලකේ.

    https://www.youtube.com/watch?v=P3rHZ5A14TI

    මුම්බායි සිට සිංගප්පූරුව බලා ගමන් ගන්නා අතරවාරයේ දී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ නැංගුරම් ගන්නා ලද මෙම නෞකාව දිගින් මීටර 335 ක් සහ පළලින් මීටර 40 කින් යුක්තය.

    අවන්හල් 35 ක්, කැසිනෝ, submersibles, waterslide park, spas, kids clubs, Zouk nightclub, අති විශාල සිනමා ශාලාවක් යනාදී අංග ගණනාවක් මෙම අධිසුඛෝපභෝගී නෞකාව තුළ අන්තර්ගතය.

    කොළඹ වරායේ සිට පසුගිය සඳුදා (31) මධ්‍යම රාත්‍රියේ දී සිංගප්පූරුව බල ගමන් ඇරඹූ Genting Dream මඟී නෞකාව, දින 4 ක මුහුදු ගමනකින් පසු සිංගප්පූරුව බලා පැමිණීමට නියමිතය. මෙහි ගමනාන්තය වනුයේ චීනයේ Guangzhou වරාය යි.

    ‘Genting Dream‘ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමේ, සංචාරක නියෝජිතත්වය දරනු ලැබූයේ ‘සත්සිඳු‘ සමාගමයි. ශ්‍රී ලංකාවට පැමිණීම නිමිත්තෙන් පැවති උත්සව අවස්ථාවට ‘සත්සිඳු‘ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් අබේවික්‍රම ද මහතා ද එක් වූ අතර, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා විය.

    මෙහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ, මෙම නෞකාව හරහා මඟීන් 1,900 ක් මෙරටට පැමිණි බවත්, තවත් මඟීන් 1,500 ක් කොළඹ වරායෙන් ඊට ගොඩ වූ බවත්ය. එය මෑත කාලයේ දී වැඩිම මඟී සංඛ්‍යාවක් කොළඹ වරාය වෙත පැමිණි අවස්ථාව ලෙසින් සැලකිය හැකි බව ද මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.