අධි සුඛෝපභෝගී Mein Schiff 3 කොළඹ වරායට පැමිණෙයි

    November, 29, 2018

    TUI AG හා Royal Caribbean Cruises Ltd සමාගම් විසින් හිමිකාරීත්වය දරනු ලබන සහ TUI Cruises විසින් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන Mein Schiff 3 අධි සුඛෝපභෝගී මගී නෞකාව පසුගිය 26 වැනි දා ශ්‍රී ලංකාවට සේන්දු විය. ඒ මගීන් 2,430 ක් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් 995 ක්ද සමඟිනි. ශ්‍රී ලංකාවට පැමිණි මෙම නෞකාව කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ නැංගුරම් ලා තිබේ.

    මීටර 295 ක දිගින් යුතු මෙම නෞකාව මීටර 35 ක පළලකින් යුතුවේ. එය කාමර 1,253 කින් සමන්විත අතර මගීන් 2,500 කට සේවා සැපයීමේ පහසුකම්වලින් යුක්තය. මෙය තට්ටු 15 ක උසකින් යුතු නෞකාවකි.

    අවහන්හල්, සිනමා ශාලා, කැසිනෝ, සමාජ ශාලා, ස්පා ඇතුළු විනෝදාස්වාද අංග ගණනාවකින් Mein Schiff 3 නෞකාව සන්නද්ධය.

    පසුගිය මැයි මාසයේ දී මෙම නෞකාව යුරෝපයෙන් ගමන් ආරම්භ කළ අතර යුරෝපාකරයේ වරාය ගණනාවක් නැංගුරම්ලමින් සූවස් ඇළ හරහා මැදපෙරදිග කලාපයට සේන්දු වී තිබේ. ඉන් අනතුරුව ද මැදපෙරදිග වරාය රැසක් හරහා මස්කට්, මුම්බායි වරායන් පසුකරමින් කොළඹ වරායට නොවැම්බර් 26 වනදා පැමිණියාය. පැය 15 ක පමණ කාලයක් සිය සේවා කටයුතු සඳහා කොළඹ වරායේ රැඳී සිටි Mein Schiff 3 නෞකාව යළිත් වරක් තම චාරිකාව ආරම්භ කළ අතර එය හෙට (30) පෙරවරුවේ දී තායිලන්තයේ ෆුකේට් වරායට සේන්දු වීමට නියමිතය.

    මෙය පූර්ණ වශයෙන් ජර්මානු සංචාරකයින් ඉලක්ක කරගනු ලැබූ මගී සංචාරක නෞකාවකි. නැව තුළ සම්පූර්ණයෙන්ම පාහේ භාවිත වන්නේ ජර්මානු භාෂාවයි.

    Mein Schiff 3 නෞකාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ නැංගුරම්ලා තිබුණු අයුරු ඡායාරූපයෙන් දිස්වේ.