අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී සිදුවන මූල්‍ය වංචාවලින් ආරක්ෂා වීමට කළ යුතු දේ

    December, 30, 2025

    මෑතක සිට ෆේස්බුක් Facebook, ඉක්මන් Ikman, සහ වට්ස්ඇප් WhatsApp වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ජංගම දුරකථන සහ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ විකිණීමට දමා පාරිභෝගිකයින් රවටා මුදල් වංචා කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

    ශ්‍රී ලංකා පොලීසිය පෙන්වා දෙන්නේ වංචාකරුවන් බොහෝ විට භාවිතා කරන්නේ එකම උපාය මාර්ගයක් බවත් ඒ අනුව නිරන්තරයෙන් වෙළඳපොල වටිනාකමට වඩා ඉතා අඩු මිලක් ඒ සඳහා නියම කරන බවත්ය. මෙය පාරිභෝගිකයාගේ කෑදරකම අවුස්සන ප්‍රධානතම උපක්‍රමයයි.

    ඉන් පසු හදිසි බවක් මවා පෑම "තව කට්ටියක් එනවා කිව්වා, දැන්ම ගත්තොත් දෙන්නම්", වැනි දේ පවසා ඔබව කලබල කරවයි. එවිට ඔබට සිතා බැලීමට කාලයක් නොදී ඉක්මනින් ගනුදෙනුව කිරීමට ඔවුන් පෙළඹවීමක් කරයි. පූර්ව මුදල් තැන්පතු ඉල්ලීම. භාණ්ඩය වෙන් කරවා ගැනීමට යැයි පවසා රු. 5,000ක්, 10,000ක් හෝ 20,000ක් වැනි මුදලක් බැංකු ගිණුමකට බැර කරන ලෙස ඉල්ලා සිටී. සල්ලි දැමූ පසු ඔවුන් දුරකථන විසන්ධි කර Block කිරීම සිදුකරයි.

    මෙවැනි වංචාවලට හසුවීමෙන් වැළකීමට ඔබ කළ යුතු දේ ලෙස ශ්‍රී ලංකා පොලීසිය විසින් පහත කරුණු පෙන්වා දී ඇත.

    ඒ අනුව කිසිවිටෙකත් භාණ්ඩය අතට නොගෙන මුදල් ගෙවීමෙන් වැලකීම, අන්තර්ජාලයෙන් දකින භාණ්ඩයක් සඳහා කිසිදු හේතුවක් මත, අත්තිකාරම් මුදල් Advance තැන්පත් නොකිරීම, Cash on Delivery ක්‍රමය හෝ කෙලින්ම හමුවී Hand to Hand ගනුදෙනු කිරීම පමණක් සිදු කිරීම, අතට හුවමාරු කර ගැනීමේදී ප්‍රවේශම් වීම, නාඳුනන පුද්ගලයින් හමුවීමට යාමේදී ජනාකීර්ණ, ආරක්ෂිත ස්ථානයක් තෝරා ගැනීම සහ තනිවම නොයෑම, භාණ්ඩය සැබවින්ම ඔවුන් ළඟ තිබේදැයි තහවුරු කර ගැනීමට Video Call එකක් ලබා ගැනීම, භාණ්ඩය පමණක් නොව, විකුණන පුද්ගලයාගේ මුහුණ ද පැහැදිලිව බලාගැනීම මක්නිසාදයත් වංචාකරුවන් බොහෝ විට තමන්ගේ මුහුණ පෙන්වීමට අකමැති වන බැවිනි, බැංකු ගිණුම් අංක පරීක්ෂා කිරීම, බොහෝ විට වංචාකරුවන් වෙනත් අයගේ හැඳුනුම්පත් භාවිතා කර සකසා ගත් ගිණුම් භාවිතා කරන බැවින් ඔවුන් ලබා දෙන ගිණුම් අංකය සහ නම ගැන සැකයක් ඇත්නම් මුදල් තැන්පත් නොකිරීම වැන් දෑ ගැන නිරන්තරයෙන් සැලකිලිමත් විය යුතු වේ.