අන්තර්වාර රජය ස්ථිර ලෙස ස්ථාපිත වූ වහාම ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස වානිජ මණ්ඩල එකමුතුව ජනපතිට කියයි

    May, 11, 2022

    අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සිලුම ප්‍රමුඛ දේශපාලන පක්ෂ වලට පිළිගතහැකි දක්‍ෂ පුද්ගලයෙකු පත් කිරීමටත්, අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර කුඩා අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමටත් කඩිනම් පියවර ගන්නා ලෙස ඒකාබද්ධ වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය හා එක්ව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

    රටේ නීතිය හා සාම සහ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනම් ක්‍රිමාර්ග ගැනීමට මෙය වහාම ක්‍රියාත්මක කළ යුතුය.

    නීත්‍යානුකූල රජයක් ‌නොමැතිකම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සැලසුම් කළ පරිදි නියමිත වේලාවට අවසන් කිරීම අභියෝගයට ලක්විය හැකි බව ඉතා පැහැදිලිය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන බලාපොරොත්තුවෙන් සිටින අතරතුර, ඉදිරි මාස හය තුළ රට පවත්වාගෙන යාම සදහා කෙටි කාලීන මුල්‍යාධාර ලබාගැනීම ඉතා වැදගත් වේ.

    එබැවින්,
    - සියලු දෙනා පිළිගන්නා නායකත්වයක් යටතේ අන්තර්වාර රජයක් පිහිටුවීමට සියලු දේශපාලන පක්ෂ තම දේශපාලන න්‍යාය පත්‍ර  සහ මතභේද පසෙකලා ඉදිරිපත්වන ලෙසත්,
    - කඩිනමින් 20 වැනි සං‌ශෝධනය අහෝසි කිරීමටත්, සාධාරණ කාල සීමාවක් තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත්, සම්මුතිවාදී ප්‍රවේශයක් හරහා කටයුතු කරන ලෙසත්,
    - ජනාධීපතිවරයා මහජනතාවගේ හඬට ගරු කරමින්, අන්තර්වාර රජය ස්ථිර ලෙස ස්ථාපිත වූ වහාම ඉල්ලා අස්වන ලෙසත්,
    - සියලු පුරවැසියන් මෙම අර්බුදයෙන් රට ගොඩ ඒම තවදුරටත් අපහසු වන ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු නොවී සන්සුන්ව සිටින ලෙසත්,
    - පසුගි සඳුදා දක්වා සාමකාමී ලෙස තම හඬ ප්‍රකාශ කළ අයුරින්, ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටීමේ අවශ්‍යතාව පිළිබඳව සියලු ආගමික නායකයින් මහජනතාවට අවවාද දෙන ලෙසත්, අපි ඉල්ලා සිටිමු.

    මෙය පහත සඳහන් ආයතන විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකි.