අනාගත ලෝකයේ පාරිභෝගික සහාය SLT BizChat සමග දැන් ඔබ වෙත

    February, 13, 2020

    ශ්‍රී ලංකාවේ ඩිජිටල් සන්නිවේදනයේ පුරෝගාමියා වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සමාගම විසින් තම ඩිජිටල් සේවාවන් පුළුල් කරමින් SLT BizChat නමින් නවතම සේවාවක් පසුගියදා හඳුන්වා දෙන ලදී. දිනෙන් දින දියුණුවන ඩිජිටල් තාක්ෂණික වටපිටාව තුල සහ තරඟකාරී වෙළඳපොළ තුල පාරිභෝගිකයා පැය 24 තුලම තමන් හා රඳවා ගැනිම සෑම ව්‍යාපාරිකයකුටම ඉතා වැදගත් අවශ්‍යතාවක් බව මේ වනවිට ගෝලීය වශයෙන් ව්‍යාපාරික ප්‍රජාව විශ්වාස කරන්නකි. SLT BizChat ඔබ වෙත හඳුන්වා දෙන්නේ එකී නවීන අවශ්‍යතාවයෙන් ව්‍යාපාරික ඔබ සවිමත් කිරීම උදෙසාය.

    SLT BizChat සේවාව මගින් ස්වයං පාරිභෝගික සේවා සහාය ලබාදීමේ ඇති හැකියාව සහ එහි ඇති ඵලදායීතාව සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව සහ නියෝජිතයින් සම්බන්ධ කරගනිමින් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් කොළඹ hatch ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.

    SLT BizChat සේවාව ලබා ගැනීමෙන් ස්වයංක්‍රීය පාරිභෝගික සේවා නිලධාරීයකුගේ පාරිභෝගික සහාය  දවසේ පැය 24 පුරාම පවත්වාගෙන යා හැකි ආකාරය සහ  නූතන තාක්ෂණය සමග අනාගත ලෝකයේදී පාරිභෝගික සහාය සේවාවන් පවත්වාගෙන යා හැක්කේ කෙසේද යන්න පිළිබඳව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තිලක් ආර් තිලකරත්න මහතා අදහස් දැක්වීය.

    SLT BizChat කෘතීම බුද්ධිය (Artificial Intelligence)  ඇසුරෙන් නිර්මාණය කර ඇති chatbots සේවාව ඔස්සේ ව්‍යාපාරිකයින් හට තම ව්‍යාපාරය හෝ සේවාව පිළිබඳව පාරිභෝගිකයින් වෙත පාරිභෝගිකයාට අවශ්‍ය භාෂාවකින්, දියයුතු උපදෙස් හෝ තොරතුරු පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය පරිදි සංවාදාත්මකව ලබාදීමේ හැකියාව ඇති බවද පැවසීය. ස්වයං යාවත්කාලීන (Auto Update) වන chatbot ඔස්සේ එකවර පාරිභෝගිකයින් රැසකට සේවාවන් ලබාදීමට ඇති හැකියාවද මෙහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම SLT BizChat සේවාව පරිශීලකයින්ට ඉතා පහසුවෙන් අවශ්‍ය පරිදි වෙනස් කරගත හැකි තාක්ෂණය භාවිතයෙන් දත්ත ගබඩා කරනු ලබන ආරක්ෂිත සේවාවක් බවද අවධාරණය කළේය.

    SLT BizChat සේවාව ලබා ගන්නා ව්‍යාපාරිකයින්ට Interactive forms, Search bots, Live-chat, මෙන්ම බහු භාෂි පරිවර්ථනය, දත්ත හා තොරතුරු විශ්ලේෂණය, පාරිභෝගික සේවා කළමනාකරණයට ඍජුව ඒකාබද්ධ වීම මෙන්ම Facebook ව්‍යාපාරික පිටුව සමග ඒකාබද්ධ කිරීමේ හැකියාවද පවතී.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නිෂ්පාදන සංවර්ධනය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රවින් තරින්ද මහතා, සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් තම ව්‍යාපාර වර්ධනය සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම පිළිබඳවද SLT BizChat ලබාගැනීම මගින් ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳවද මෙහිදී අදහස් පළ කළේය.

    හෝටල්, අවන්හල්, අන්තර්ජාලය ඔස්සේ ඇඟළුම් අළෙවි කරන ආයතන, පෞද්ගලික රෝහල්, අධ්‍යාපන ආයතනය, පාරිභෝගිකයින් වෙත භාණ්ඩ බෙදාහරින ආයතන, සුපිරි වෙළඳසැල්, දේපළ වෙළඳාම් සහ අනතර්ජාලය ඔස්සේ පාරිභෝගික සහාය අවශ්‍ය වෙනත් ඕනෑම සේවාවක් සඳහා SLT BizChat මගින් පාරිභෝගික සහාය සේවාව ලබා දිය හැකි බව මෙහිදී අවධාරණය කෙරිනි.

    මෙම අවස්ථාවට එක්වුනු ඩිජිටල් ව්‍යාපෘතියේ සමාන්‍යාධිකාරීනී ඉෂාරි සිරිවර්ධන මහත්මිය, ඩිජිටල් ව්‍යාපෘතියේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී දිනේෂ් පෙරේරා මහතා සහ SLT BizChat සේවාව නිර්මාණය කිරීමේදී සහාය ලබාදුන්  Service Form ආයතනයේ කළමනාකාරීණී දිල්ෂානී විජේරත්න මෙනෙවිය තවදුරටත් පාරිභෝගිකයින් දැනුවත් කරන ලදී.

    2020 පෙබරවාරි 20 වනදා දක්වා SLT BizChat සේවාව ලබාගන්නා  ගනුදෙනුකරුවන්හට මාස 3 ක් නොමිලේ සේවාව  ලබා දීමටද ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තිරණය කර තිබේ