අනිසි ලෙස කොටස් මිල හැසිර වූ ආයෝජකයින් දෙදෙනෙකුට සුරැකුම්පත් කොමිසමෙන් නඩු

    June, 26, 2019

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ඊ-චැනලින් පීඑල්සී සමාගමේ කොටස් මිල අනිසි ලෙස හැසිරවීම සම්බන්ධයෙන් එහි ආයෝජකයින් දෙදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අදාළ ආයෝජකයින් දෙදෙනාට විරුද්ධව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට සුරැකුම්පත් කොමිසම කටයුතු කර ඇත.

    විනිමය හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් කරන ලද පරීක්ෂණයකින් පසු ලබාගත් සාක්ෂි පදනම් කරගෙන සහ නීතිපතිවරයාගේ විධිමත් මතය ලැබීමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් බලපවත්නා නීතිමය විධිවිධාන 2001 දෙසැම්බර් 18 දිනැති අංක 1215/2 අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වන අතර එහි 12 වන වගන්තියට අනුව,

    “ක්‍රියාකාරී අලෙවිය පිළිබඳ ව්‍යාජ හෝ නොමඟ යනව සුළු පෙනුමක් හෝ හැඟීමක් ඇති කරවීමට හෝ බලපත්‍රලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක ලැයිස්තුගත යම් සුරැකුම්පත් සඳහා වූ වෙළෙඳපොළ හෝ මිල සම්බන්ධයෙන් ව්‍යාජ හෝ නොමඟ යවන සුළු පෙනුමක් හෝ හැඟීමක් ඇති කරවීමේ අරමුණින් යම් දෙයක් මවා පෑම හෝ මවා පෑමට සැලැස්වීම හෝ මවා පෑමක් ඇති කරවීම සඳහා වූ යම් කිසිවක් කිරීම හෝ, කිසිම තැනැත්තකු විසින් නොකළ යුතුය.“

    මේ අතර 1987 අංක 36 දරන සුරැකුම්පත් සභා පනතේ 51 වගන්තියට අනුව,

    “මේ පනත යටතේ වරදක් වූ ද ප්‍රකාශිතවම ඒ සඳහා දණ්ඩනයක් සම්බන්ධයෙන් විධිවිධාන සලස්වනු ලැබ නොමැත්තා වූ ද වරදකට වරදකරු වන යම් තැනැත්තකු මහේස්ත්‍රාත්වරයකු විසින් පවත්වනු ලබන ලඝු නඩු විභායකින් පසු වරදකරු කරනු ලැබූ විට, අවුරුදු පහක් නොඉක්මවන කාලයක් දෙයාකාරයෙන් එක් ආකාරයකින් බන්ධනාගාර ගත කරනු ලැබීමට හෝ රුපියල් ලක්ෂ සියයක් නොඉක්මවන දඩයකට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ යටත් විය යුතුය.“

    මේ සම්බන්ධයෙන් නම් කර ඇති චූදිත පුද්ගලයින් දෙදෙනා වන මොහොමඩ් ඉම්තියාස් සම්සුදීන් සහ මුහම්මද් බෆික් නිසාර් යන දෙදෙනාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇත.

    2019 අගෝස්තු 29 දින මෙම නඩුව විභාගයට ගැනීමට නියමිතය.