අපනයන අංශයට දුන් අවධානය ප්‍රමාණවත් නැහැ – රොහාන් මාසකෝරාල

    April, 27, 2020

    ශ්‍රී ලංකාවේ අපනයන කළඹෙන් 45%ක් පමණ සමන්විත වන්නේ ඇඟළුම්වලින් බවත්, මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ පාරිභෝගිකයින් ඇඟළුම්, ප්‍රමුඛතාවයක් දිය යුතු භාණ්ඩයක් බවට සලකන්නේ නැති බවත් කොළඹ නැව්ගතකරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාල මහතා පවසයි. පසුගියදා අද දෙරණ BIG FOCUS වැඩසටහන සමඟ ඒක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    මෙහිදී මාසකෝරාල මහතා වැඩිදුරටත් පැවසුවේ, ශ්‍රී ලංකාව රටක් හැටියට අපනයන කර්මාන්ත අංශය වෙත දුන් අවධානය ප්‍රමාණවත් නොවන බවයි. එසේම පහුගිය වසර 25ක පමණ කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ අපනයන විවිධාංගීකරණය නොවීමේ ප්‍රතිඵලය අද වන විට අපට භුක්ති විඳීමට ලැබී ඇති බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

    “අපිට තිබෙන ලොකුම ගැටළුවක් තමයි, අපේ අපනයන කළඹෙන් 45%ක් ඇඟළුම්. අපි අවුරුදු ගණනාවක් මේකෙන් යැපුනා. අපිව මධ්‍යම ආදායම් රටක් බවට පත්කිරීමට ඇඟළුම් අපනයන ක්ෂේත්‍රය විශේෂයෙන් දායක වුණා.“

    “අද ඇත්ත තත්ත්වය ගත්තොත් ඇඟළුම් ක්ෂේත්‍රය ඉතාම අසීරු තත්ත්වයකට වැටිලා ඉන්නේ. අපි දන්නේ නැහැ මේ වෙළෙඳපොළ නැගිටින්නේ කවදාද කියා. ජාත්‍යන්තර ප්‍රවෘත්තිවල කියැවුණා, ඇමරිකාවේ වෛද්‍යවරු කියනවා ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් වෙන කොට නැවත කොරෝනා රැල්ලක් එන්න පුළුවන් කියලා. අපේ ප්‍රධාන අපනයන වෙළෙඳපොළක් තමයි ඇමරිකා එක්සත් ජනපදය. එහේ පාරිභෝගිකයාට මේ වෙලාවේ ඇඳුම් කියන්නේ ප්‍රමුඛතාවයක් දෙන දෙයක් නෙමෙයි. කවුද මේ වෙලාවේ ඇඳුම් ගන්න එන්නේ.“

    “පහුගිය අවුරුදු 25ක විතර කාලයක් අපේ රටේ අපනයන විවිධාංගීකරණය නොවුණු එකේ ප්‍රතිඵලයක් තමයි අපිට මේ වෙලා තියෙන්නේ. අපිට මීට වඩා භාණ්ඩ කොටසක් සහ වෙළෙඳපොළක් ප්‍රසාරණය කරගන්න තිබුණා. ඒක තමයි ඇත්ත කතාව. රටක් හැටියට අපි අපනයන කර්මාන්ත අංශය ගැන අවධානය යොමු කළා මදි. වියට්නාමය වගේ රටවල් අපිව පසුකරගෙන වේගයෙන් ඉදිරියට ගියා. අනාගතය සඳහා, අපේ රටේ තියෙන භූගෝලීය පිහිටීමත් සමඟ, අපනයන වැඩිකර ගත යුතුයි. ඒ සඳහා ආයෝජන මණ්ඩලයට ලොකු වගකීමක් තියනෙවා, ආයෝජකයෝ ගේන්න. නව තාක්ෂණය ගේන්න. නව ප්‍රවාහයන් ගේන්න.“