අපනයන ආදායම වැඩිවෙද්දී, ආනයන වියදම පහළ යයි. වෙළෙඳ හිඟයේ යහපත් ප්‍රවණතාවක්

    April, 18, 2019

    2019 ජනවාරි මාස‍යේ වෙළඳ හිඟයෙහි පසුගිය මාසවලදී පිළිබිඹු කළ යහපත් ප්‍රවණතාව අඛණ්ඩව පැවතිණි. වෙළඳ හිඟය 2018 වසරේ දෙසැම්බර් මාසයේදී වාර්තා කළ එ.ජ. ඩොලර් මිලියන 701 සහ 2018 වසරේ ජනවාරි මාසයේදී වාර්තා කළ එ.ජ. ඩොලර් මිලියන 1,049 සමඟ සැසඳීමේදී 2019 වසරේ ජනවාරි මාසයේදී එ.ජ. ඩොලර් මිලියන 617 ක් වාර්තා කළේය.

    වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු වීම, අපනයන ආදායම ඉහළ යෑමේ සහ ආනයන වියදම කැපී පෙනන ලෙස පහළ යෑමේ ඒකාබද්ධ ප්‍රතිඵලයක් විය. 2019 වසරේ ජනවාරි මාසයේදී අපනයන පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 7.5 කින් වර්ධනය වූ අතර, ආනයන සියයට 17.8 කින් සැලකිය යුතු ලෙස අඩු විය.

    සංචාරක පැමිණීම් 2019 වසරේ ජනවාරි මාසයේදී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 2.2 කින් වර්ධනය වූ අතර, එමගින්, මාසය තුළදී සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 458 ක් ලෙස වාර්තා විය.

    2019 වසරේ ජනවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2018 වසරේ ජනවාරි මාසය සමඟ සැසඳීමේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 545 ක් දක්වා සැලකිය යුතු අඩුවීමක් වාර්තා කළේය.

    මූල්‍ය ගිණුමෙහි, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ශුද්ධ ගලායෑම් 2018 වසරේ දෙවන භාගය සමඟ සැසඳීමේ දී 2019 වසරේ ජනවාරි මාසයේ දී පහළ මට්ටමක පැවතුණි.

    මේ අතර, 2019 ජනවාරි මාසයේ දී කල්පිරුණු එක්සත් ජනපද ඩොලර් බිලියන 1 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය රජය විසින් නියමිත පරිදි පියවන ලදී.