අපනයන ආදායම සියයට 2.8 කින් පහළට

    March, 14, 2017

    2016 වසරේ මුල් මාස 11 තුළ දී මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 9,450.7 ක් ලෙසින් වාර්තා වේ. කෙසේ වෙතත් 2015 වසරේ මුල් මාස 11 තුල වාර්තා වූ ඩොලර් මිලියන 9,750.7 ක අපනයන ආදායම හා සැසඳීමේ දී මෙය සියයට 2.8 ක පහළ යාමකි.

    මෙම වකවානුව තුළ දී සමස්තයක් ලෙසින් ගත් කල, කාර්මික අපනයන ආදායම සියයට 1.4 කින්, කෘෂිකාර්මික අපනයන ආදායම සියයට 7.02 කින් හා ඛනිජ හා වෙනත් අපනයන ආදායම සියයට 11.6 කින් පහළ ගොස්ත ඇත.

    මෙහිදී රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 4,426.8 සිට ඩොලර් මිලියන 4,490.5 දක්වා සියයට 1.4 කින් වැඩි වී තිබෙන අතර රබර් නිෂ්පාදිත අපනයන ආදායම ඩොලර් මිලියන 705.5 දක්වා සියයට 0.4 කින් ද, යන්ත්‍රසූත්‍ර හා යාන්ත්‍රික උපකරණ අපනයන ආදායම ඩොලර් මිලියන 292.7 දක්වා සියයට 8.3 කින් ද වර්ධනය වී තිබේ.

    මේ අතර 2016 ජනවාරි - නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ දී තේ අපනයන ආදායම ඩොලර් මිලියන 1,235.3 සිට ඩොලර් මිලියන 1,159.2 දක්වා සියයට 6.2 කින් අඩු වී ඇත. තවද මෙම කාලයේ දී කුළුබඩු අපනයන ආදායම ඩොලර් මිලියන 285.1 දක්වා සියයට 19.2 කින්, සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත අපනයන ආදායම ඩොලර් මිලියන 108.4 දක්වා සියයට 25.7 කින් පහළ ගොස් තිබේ.

    2016 නොවැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ සඳහන් වේ.

    මේ පිළිබඳ සම්පූර්ණ සංඛ්‍යා සටහනක් පහත දැක්වේ.