අපි බදු බර අඩු කරනවා – රවී

    May, 4, 2017

    විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දහයක්, රේගු ආඥා පනත යටතේ යෝජනා දෙකක්, නිෂ්පාදන බදු ( විෂේෂ විධිවිධාන ) පනත යටතේ නියමයන් තුනක්, වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය, ආර්ථික සේවා ගාස්තු ( සංශෝධන ) පනත් කෙටුම්පත ඊයේ (3) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අදාළ නියමයන් ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළේ ය.

    රට තුළ නිවැරැදි ආර්ථික ප්‍රතිපත්තියක් දැන් ක්‍රියාත්මක වන බව කී අමාත්‍යවරයා,දේශීය නිෂ්පාදකයා ආර්ඛ්ෂා කිරීම සඳහා නියමයන් කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව පැවසී ය.

    මහන්සියෙන් වැඩකරන ජනතාව රජය සමඟ සිටින බව ද පැවසූ අමාත්‍යවරයා,රටේ වෙනසක් ඇති කිරීම සඳහා පැවැති ආණ්ඩුව වෙනස් කිරීමට ජනතාව කටයුතු කළා.වත්මන් රජය ඉන්ධන මිල පහළ දමා තිබෙනවා. ආයතනවල නොගෙවූ අර්ථසාධක අරමුදල පියවා තිබෙනවා. ගෑස් මිල අඩු කළා. අද සියලු රටවල් ශ්‍රී ලංකාව සමඟ සිටිනවා. රැකියා ඇති කරමින් ආයෝජකයන් දිරිගැන්වීම අවශ්‍යයි. අලුත් ගමනක්, ජනතාවට ජයග්‍රහනයක් ලබාදෙන්නයි අවශ්‍යවන්නේ. අපි බදු බර අඩු කරනවා. රටේ සවි ශක්තිමත් ආර්ථිකයක් ඊට පෙර ඇති කිරීමට අවශ්‍යයි යැයි ද අමාත්‍යවරයා පැවසීය.