March, 12, 2019
ආසියාවේ පැසිෆික් සාගරයේ රටවලට සීමා වූ දියුණුව, අද ඉන්දියන් සාගරය කරා පැමිණ ඇති බවත් ශ්‍රී ලංකාවේ අප නිරන්තරයෙන් ජාත්‍යන්තර වෙළෙඳාමේ හා ජාත්‍යන්තර දේශපාලනයේ නිරත වූවන් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය ඉරිදා (10) කොළඹ දී පැවති තරුණ ලාංකේය ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ (COYLE) 20 වැනි සංවත්සර අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කියා සිටියේය.
“ඔබ සියලු දෙනාගෙන් රටට වුණු සේවය මා අගය කරනවා.“
“අපි ඉතිහාසය දිහා බලනවා නම් විජය කුමාරයාටත් කලින් සඳහන් වන නම් දෙක වෙළෙඳුන් දෙන්නෙක්. තපස්සු-බල්ලුක. එදා ඉඳන් මේ රටේ වෙළෙඳ ප්‍රගතියක්, ජාත්‍යන්තර වෙළෙඳාම හා සම්බන්ධකමක් තිබෙනවා. අපි හැමවෙලේම ගෝලීය වෙළෙඳපොළත්, එදා තිබුණු ගෝලීය වෙළෙඳපොළ සමඟ සම්බන්ධ වෙලා වැඩකටයුතු කළේ.“
“හොඳ උදාහරණයක් තමයි 600 වෙනි ශත වර්ෂයේ දී විශේෂයෙන්ම අනුරාධපුර රාජධානියත්, පල්ලව රාජධානියත් මානවම්භ හා නරසිංහවරම් රජවරු අතර ඇතිවුණු සම්බන්ධය නිසා ඉන්දියන් සාගරයේ මුහුදු සේද මාවතේ පාලනය කරන්න ගත්ත පියවර. ඒ සඳහා ශ්‍රී විජය අධිරාජයත් එකට එකතු වුණා. විරුද්ධව සොළී අධිරාජය තිබුණා. සොළී අධිරාජය අවුරුදු 100 ක් විතර බලපෑවා. නැත්නම් පරාක්‍රමබාහු යුගය අවසන් වෙනතුරු තමයි මේ වෙළෙඳ සංයුතිය එක්ක අපි ඒ වෙළෙඳාම පාලනය කළේ.“
“තව උදාහරණයක් තමයි විජයනගර් අධිරාජය, ආර්ය චක්‍රවර්තී තුළින් මේ රටේ කුරුඳු හා කුළුබඩු වෙළෙඳාම පාලනය කරන්න ගත් අවස්ථාවේ දී ලංකාවේ හිටපු අනෙක් වෙළෙන්ඳන් ජාතික, විදේශීය, කේරළ, අරාබි සියලු දෙනාම එකතුවෙලා අලකේෂ්වරතුමාට සහයෝගය දුන්නා, ඒ ඒකාධිකාරය කඩන්න.“
“අපි හැමවෙලේම ජාත්‍යන්තර වෙළෙඳාමෙත්, ජාත්‍යන්තර දේශපාලනයේත් දෙකේම හිටපු අය.“
“දැන් අපි ජීවත් වෙන්නේ යළිත් අධිරාජ්‍යවාදී ආර්ථිකයෙන් පසුව, බටහිර ලෝකයේ ආර්ථික ආධිපත්‍යයෙන් පසුව, ආසියාවේ ආර්ථික දියුණුව පමණක් නෙමෙයි, ආසියාවේ විශේෂයෙන්ම පැසිෆික් සාගරයේ රටවලට සීමා වූ දියුණුව, අද ඉන්දියන් සාගරය කරා එන අවස්ථාවේ දී. ඉන්දියන් සාගරයේ රටක් හැටියට, කේන්ද්‍රස්ථානයක් හැටියට අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන එක තමයි අද අපිට තියෙන වගකීම.“
Video Story