අපේ අධිවේගී මාර්ග සඳහා බුද්ධිමත් ප්‍රවාහන පද්ධතියක්

    May, 6, 2015

    මෙරට අධිවේගී මාර්ග භාවිතා කරන්නන් වෙනුවෙන් වඩාත් හොඳ සේවාවක් සැලසීම වෙනුවෙන් “අධිවේගී මාර්ග සඳහා බුද්ධිමත් ප්‍රවාහන පද්ධතිය“ (Intelligent Transport System for Expressways) යනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය සූදානම් වේ.

    මෙම ව්‍යාපෘතිය මේ වසරේදී ආරම්භ කරන බවත් මේ යටතේ දක්ෂිණ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය සඳහා පණිවුඩ නාම පුවරු 21 ක්, ප්‍රවාහන කවුළු 20 ක් සහ වර්ෂාමාන 11 ක් ස්ථාපිත කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2104 වාර්තාවේ දක්වා ඇත.

    මේ වනවිට, මෙරට ඉදිකර ඇති අධිවේගී මාර්ගවල සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර් 161 ක් වන අතර නාගරික සංවර්ධන අධිකාරිය විසින් නඩත්තු කරන ජාතික මහා මාර්ගවල දුර ප්‍රමාණය 2014 වසර අවසන් වනවිට කිලෝ මීටර් 12,208 ක් විය.

    කොට්ටාවේ සිට මාතර ගොඩගම දක්වා දකුණු අධිවේගී මාර්ගය ඉදිකර තිබෙන අතර දකුණු අධිවේගී මාර්ගයට කොට්ටාවේදී පිටත වටරවුම් මාර්ගය සම්බන්ධ වේ.

    පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස මැයි මාසය අවසන් වීමට පෙර විවෘත කිරීමට රජය අදහස් කර තිබේ.

    පිටත වටරවුම් මාර්ගයේ අවසන් අදියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9.32 ක් වන ප්‍රමාණයේ වැඩ මේ මැයි මාසය අවසානයේදී ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇතැයි මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පසුගියදා අප සමග සඳහන් කළේය.

    කටුනායක අධිවේගී මාර්ගය පිටත වටරවුම් මාර්ගයට සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබෙන්නේ කෙරවලපිටියේදී වන අතර යෝජිත මහනුවර අධිවේගී මාර්ගය වටරවුම් මාර්ගයට සම්බන්ධ කිරීමට නියමිතව ඇත්තේ කඩවතදීයි.