අපේ අපනයන ආදායම් කැපී පෙනෙන ලෙස ඉහළට

    March, 25, 2014

    පසුගිය ජනවාරි මාසයේදී මෙරට අපනයන ආදායම් කැපී පෙනෙන වර්ධනයක් ලබාගෙන තිබෙන අතර 2013 ජනවාරි මාසයට සාපේක්ෂව අපනයන ආදායම සියයට 23.2 කින් වර්ධනය වී එහි වටිනාකම ඩොලර් මිලියන 898 ක්වී තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලින් අනාවරණය වන්නේ මෙම අපනයන වර්ධනයට විශාල දායකත්වයක් ලැබී තිබෙන්නේ කර්මාන්ත අපනයනවල වර්ධනය බවයි.

    මේ අනුව, පසුගිය ජනවාරි මාසයේදී කර්මාන්ත අපනයන ආදායම සමස්ත අපනයන ආදායම් වර්ධනයෙන් හතරෙන් තුනකටම දායක වෙමින් ඩොලර් මිලියන 692 ක ආදායමක් වාර්තා කර ඇත.

    මෙහිදී, වැඩිම දායකත්වය ලබාදී තිබෙන්නේ රෙදිපිළි සහ ඇඟලුම් අපනයන වන අතර එහි ආදායම් ගෙවුණු ජනවාරියේදී සියයට 23.4 කින් වර්ධනය වී ඩොලර් මිලියන 412 ක්වූ බව සඳහන්ය.

    ලංකාවේ ඇඟලුම් සඳහා ප්‍රධාන වෙළඳ පොළවල් ලෙස තවදුරටත් කැපී පෙනෙන්නේ ඇමරිකාව සහ යුරෝපයයි. එම වෙළඳ පොළවල් සඳහා සමස්ත රෙදිපිළි හා ඇඟලුම් වලින් සියයට 85 ක්ම අපනයනය කර තිබේ.

    මේ අතර, ජනවාරියේදී කෘෂි කාර්මික අපනයන ආදායම්ද වර්ධනය වී තිබෙන අතර මෙහිදී පොල්, තේ, අපනයන ආදායම් වර්ධනය වී ඇත.