අපේ ගිවිසුම් සහ ව්‍යාපාරික කොන්ත්‍රාත් වලට ගරු කරන්න -චීනය මෙරටට අවධාරණය කරයි

    March, 9, 2015

    ශ්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් කර තිබෙන ද්විපාර්ශවික ගිවිසුම් සහ ව්‍යාපාරික කොන්ත්‍රාත් වලට ගරු කරන්නැයි චීනය මෙරටට අවධාරණය කර තිබේ.

    ඩොලර් බිලියන 1.4 ක පමණ ආයෝජනයකින් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අත්හිටුවීමෙන් පසුව මෙරට චීන තානාපති කාර්යාලය විසින් ලංකාවට දැනුම් දී තිබෙන්නේ සිය ආයෝජකයින්ගේ අභිලාෂයන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙරට චීන තානාපති Yi Xianliang මහතා සමග හදිසි සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර මෙහිදී චීන තානාපතිවරයා පවසා තිබෙන්නේ ද්විපාර්ශවික වශයෙන් ප්‍රතිලාභ හිමිවන දෙරට අතර තිබෙන සම්බන්ධතාවය පිළිබඳව ලංකාව පාර්ශවයෙන් ඇගයීමක් කරන ලෙසයි.

    පරීක්ෂණ සිදුකරන තෙක් තාවකාලිකව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සිදුකිරීම නතර කිරීමට රජය තීරණය කළ අතර ව්‍යාපෘතිය සිදුකරන China Communications Construction සමාගම සිය ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට මේ වනවිට එකඟත්වය පළකර ඇත.

    2013 වාර්ෂික වාර්තාවට අනුව කොළඹ වරාය පුළුල් කිරීමේ දියකඩනය සමීපයේ සිට ගාලු මුවදොර පිටිය දෙසට පිහිටි මුහුදු ප්‍රදේශය ගොඩ කිරීම මගින් මෙම නව වරාය නගරය ඉදිකරයි.

    මෙහිදී, යෝජිත ව්‍යාපෘතිය මගින් හෙක්ටයාර 233 කට නොඅඩු භූමි භාගයක් මුහුද ගොඩකිරීම මගින් ලබාගන්නා බව මහ බැංකුව සඳහන් කර තිබේ.

    මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් තෝරාගෙන තිබෙන චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් සමාගමට මුහුද ගොඩ කිරීමෙන් පසුව හෙක්ටයාර 108 ක භූමි ප්‍රමාණයක් ආදාල ආයෝජන පිරිවැය, අලෙවි ප්‍රවර්ධන වියදම් පියවා ගැනීම සඳහා සහ ලාභ වශයෙන් වෙන්කිරීමට නියමිත බව මහ බැංකුව පවසා ඇත.

    එසේ වෙන්කරන භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 20 ක ප්‍රමාණයක් නිදහසේ භුක්ති විඳීමේ පදනම මතද ඉතිරි හෙක්ටයාර 88 ක භූමි ප්‍රමාණය වසර 99 ක බදු පදනමක් මතද ලබාදීමට නියමිත බව සඳහන්ය.

    මුළු ගොඩකරන භූමි ප්‍රමාණයෙන් ඉතිරිවන භූමි ප්‍රමාණය වන හෙක්ටයාර 125 ක කොටස ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතින බව මහ බැංකුව සඳහන් කර තිබේ.

    මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක මුදල ආයෝජකයා වන චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ආයෝජනය කරයි.

    මහ බැංකුව එකළ පවසා තිබු‍ණේ මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් යෙදවීම ව්‍යාපෘතියේ ආයෝජකයා විසින් විදේශීය සෘජු ආයෝජනයක් ලෙස සිදුකිරීමට නියමිත නිසා මෙම ව්‍යාපෘතියේ මූල්‍යන කටයුතු සඳහා රජය වෙත කිසිදු වියදමක් හෝ විදේශීය ණය ගැනීමක් නොමැති බවයි.