අපේ සමාගම් වලටත් GICS

    December, 10, 2015

    කොළඹ කොටස් හුවමාරුව, එහි ලැයිස්තුගත සමාගම් වර්ගීකරණය සඳහා S&P/CSE ද්විත්ව සන්නාම සහිත කේෂ්ත්‍ර දර්ශකද සහිතව Global Industry Classification Standard (GICS) භාවිතයට ගැනීම ආරම්භ කොට තිබේ. කොළඹ කොටස් හුවමාරුවෙහි 30 වන සංවත්සරය සැමරීමට 2015 දෙසැම්බර් 02 දින පැවති සංවත්සර උත්සවයේදී මෙම නව වර්ගීකරණය දියත් කෙරිණ. පහත පළවනුයේ මෙම නවාංගය පිලිබදව කොළඹ කොටස් හුවමාරුවෙහි පර්යේෂණ හා නව මුල්‍ය මෙවලම් අංශ ප්‍රධානි නිශාන්ත හේවාවිතාන මහතා සමග පැවති සම්මුඛ සාකච්චාවකින් උපුටා ගන්නා ලද්දකි.

    සමාගම් වර්ගීකරණය වැදගත් වන්නේ ඇයි ?

    ඔබගේ ආයෝජන කළඹ විවිධාංගිකරණය (diversification of portfolio) කල යුතු බව, ආයෝජන උපදේශකයින් මෙන්ම ඒ පිළිබද ප්‍රවීනත්වයක් දරන්නන් නිතර පවසනවා ඔබ අසා ඇතිවාට සැක නැත. මෙය, "ඔබගේ සියලුම බිත්තර එකම මල්ලක නොදමන්න" යන අතීත උපමා වැකියෙන් මනාව විදහා දැක් වෙයි. ඔබ ඔබගේ ආයෝජන විවිධාකාරවූ ව්‍යාපාර වස්තුන්හී ආයෝජනය කිරිම වැදගත් වන බව එයින් අදහස් කරන අතර, එමගින් ඔබට මුහුණ පෑමට සිදුවන අවදානම විවිධ ව්‍යාපාර අංශ හරහා විහිදාලිමට හැකියාවක් ලැබේ. නිසැකයින්ම, ඔබගේ ආයෝජනයන් විවිධාකාරවූ ව්‍යාපාර අංශයන්හී විහිදාලිය යුතුවේ. උදාහරණයක් ලෙස, ඔබ බැංකු අංශයෙහිම සමාගම් පහක කොටස් මිලදීගත් පමණින්, ඔබගෙ ආයෝජන කළඹ මනාව විවිධාංගිකරණය කර ඇති බව කිව නොහැකිය. මන්ද, ඔබ තවමත් එක් ව්‍යාපාර අංශයකට එනම් බැංකු අංශයට පමණක් සීමාවී ඇති බැවිනි.

    එබැවින්, ඔබගේ ආයෝජන කළඹ විවිධාංගිකරණය කිරීම තුලින් ඔබට අත්විදීමට සිදුවන අවදානම විවිධ ව්‍යාපාර අංශයන්හී විහිදාලිමට හැකියාවක් ඇති අතර සහ ඔබ එසේ කලයුතු වේ. මෙහි සැඟවී ඇති මූලික අදහස වනුයේ, සියලු ව්‍යාපාර අංශ එක්වර පහතට නොවැටෙනා බවය. ලොව වටා සියලුම කොටස් වෙළෙඳපොල, තම ලැයිස්තුගත සමාගම් විවිධ ව්‍යාපාර අංශයන්හී වර්ගීකරණය කිරීම මගින්, ආයෝජකයිහට තම අයෝජන නිසියාකාරව, විවිධ ව්‍යාපාර අංශයන්හී ආයෝජනය කිරීමට අවශ්‍ය පහසුම් සලසා දෙනු ලබති.

    සමාගම් වර්ගීකරණය සඳහා පොදු සම්මතයක් පැවතීම වැදගත් වන්නේ කෙසේද ?

    කොටස් ආයෝජනයේ ගෝලීය ව්‍යාප්තියත් සමග භුගෝලීය සීමාවලට වඩා වැදගත් වනුයේ විවිධ ව්‍යාපාර අංශයන්ය. කෙසේ වුවත්, විවිධ රටවල් සහ ප්‍රදේශයන්හි විවිධ වර්ගීකරණයන් භාවිත කිරීම තුලින් සැසඳීම අසීරු කරන අතර ඇතැම් අවස්ථාවන්හි එය කිරීමට නොහැකි කටයුත්තක් බවට පත්වේ. එම නිසා, පොදු වර්ගීකරණයක් තිබීම වඩා යෝග්‍ය වන අතර, එමගින් සැසඳීම වඩා අර්ථවත් සහ පහසු කරයි.

    Global Industry Classification Standard (GICS) යනු කුමක්ද?

    ලොව වටා සියලූම ආයෝජක ප්‍රජාවගේ, නිවැරදි හා සම්මත ව්‍යාපාර වර්ගීකරණ පද්ධතියක අවශ්‍යතාවය ඉටු කිරීම උදෙසා Morgan Stanley Capital International (MSCI) සහ standard and Poor’s (S&P) ඒකාබද්ධව 1999 දී, Global Industry Classification Standard හෙවත් GICS (කෙටියෙන්) හඳුන්වා දෙන ලදී.

    GICS වර්ගීකරණය ලොව පුරා පැතිරී ඇති අතර, ලොව වෙළදපල ප්‍රාග්ධනයෙන් 95% නියොජනය කරනු ලබන සමාගම් 42,000 පමණ ආවරණය කරයි. GICS ව්‍යුහය, අංශ (Sectors), කර්මාන්ත පන්තිය (Industry Group), කර්මාන්තය (Industry) සහ අනු කර්මාන්තය (Sub Industry) යන පිළිවෙලට අනුව, මට්ටම් සතරකින්(04) සමන්විත වී ඇත. අංශය වඩා ප්‍රධාන මට්ටම වන අතර අනු කර්මාන්ත මට්ටම වඩා සවිස්තරාත්මක මට්ටම වේ. දැනට, සමස්ත වශයෙන් මෙම වර්ගීකරණය අංශ 10 කින්ද, කර්මාන්ත පන්ති 24 කින්ද, කර්මාන්ත 68 කින්ද, අනු කර්මාන්ත 154 කින්ද සමන්විත වේ.

    GICS මට්ටම් හතරකින් සමන්විතවු ධුරාවලි ව්‍යුහයකි. මෙහි අංශ ගණන, කර්මාන්ත පන්ති ගණන, කර්මාන්ත ගණන සහ අනු කර්මාන්ත ගණන නියත අගයන් වේද?

    නැත. වාර්ශිකව, ගෝලීය මුල්‍ය ප්‍රජාව අතර ප්‍රසිද්ධියේ කරනු ලබන සමීක්ෂණයන් පාදක කර ගනිමින්, GICS ව්‍යුහයද සමාලොචනය කරනු ලබයි. ලොව පුරා ආර්ථිකමය වෙනස්වීමත් සමග, ඊට අදාලව වඩා නිවැරදි සහ අර්ථාන්විත වර්ගීකරණ පද්ධතියක් උදෙසා අංශ, කර්මාන්ත පන්ති, කර්මාන්ත සහ අනු කර්මාන්තයන් ගණනෙහි අඩුවීමක් හෝ වැඩිවීමක් සිදුවේ.

    GICS, කොළඹ කොටස් වෙළදපලෙහි දැනට භාවිත කරනු ලබන සමාගම් වර්ගීකරණයත් සමග, සසඳන්නේ කෙසේද?

    ප්‍රධාන වශයෙන්, මෙහි වෙනස්කම් දෙකකි.

    GICS අන්තර්ජාතික සම්මතයක් වන අතර, අප මෙතෙක් භාවිතා කල වර්ගීකරණ ව්‍යුහය අප රට පමණක් සලකා නිර්මාණයක් වීම පළමු වෙනස්කම ලෙස දැක්විය හැකිය.

    දෙවැනි වෙනස්කම ලෙස, GICS මට්ටම් 4 ක දුරාවලියකින් සමන්විත වන අතර අප මෙතෙක් භාවිතා කල වර්ගීකරණ ව්‍යුහය අංශ 20 කින් සමන්විතවු තනි මට්ටම් පද්ධතියක් වීම දැක්විය හැකිය.

    ලැයිස්තුගත සම්මාගමක් GICS යටතේ වර්ගීකරණය වන්නේ කෙසේද ?

    Standard & Poor’s සහ MSCI එක්ව, සමාගමක් එහි ප්‍රධාන ව්‍යාපාර කටයුත්තහි අර්ථ දැක්වීමට අනුව එක් GICS අනු කර්මාන්තයක් යටතේ වෙන් කරනු ලබයි. ප්‍රධාන ව්‍යාපාර කටයුත්ත නිර්ණය කිරීමේදී, අදායම් මුලාශ්‍ර (Revenue sources) ප්‍රධාන වශයෙන් සලකා බලනු ලැබෙයි. කෙසේ නමුත්, වර්ගීකරණයේදී ආදායම් මුලාශ්‍ර මගින් පැහැදිලි නිර්දේශයක් නොදෙන අවස්ථාවකදී, ඉපයුම් විශ්ලේෂණය සහ වෙළදපල මතය (market perception), වැදගත් මිනුම් වේ. ඕනෑම පුද්ගලයකුට ඕනෑම සමාගමක වර්ගීකරණය පරික්ෂා කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසනුවස් GICS සමාගම් වර්ගීකරණයේදී ප්‍රසිද්ධ තොරතුරු (public information) පමණක් භාවිතා කරනු ලබයි.

    මෙලෙස, ඕනෑම සමාගමක් ඊට අදාල වඩාත් සුදුසු අනු කර්මාන්තය යටතේ වර්ගීකරණය කරගනු ලබයි. එනම් GICS ධුරාවලියේ හතර වන මට්ටම යටතේය. සමාගමක් වර්ගීකරණය සදහා සැලකිය යුතු අනෙකුත් මට්ටම්, එනම් තෙවන, දෙවන සහ පළමු වන මට්ටම්, GICS ධුරාවලියේ පෙර නිර්වචනය කර ඇති අන්දමට ලබා ගැනීම සිදු කරනු ලබයි.

    එබැවින්, එක් එක් සමාගමක් සදහා එම සමාගමට අදාල අනු කර්මාන්තයක්, කර්මාන්තයක්, කර්මාන්ත සමුහයක් සහ අංශයක් පැවතීම විශ්ලෙශකයින් හට සිය විශ්ලේෂණ සදහා ඉතා විශාල පහසුවක් හා නම්‍යශිලිත්වයක් හිමි වේ. සම්මාගමක් GICS යටතේ වර්ගීකරණය කිරීමේදී භාවිතා කරනු ලබන ක්‍රමවේදයෙහි (methodology) හා GICS ධුරාවලියෙහි විස්තරාත්මක පිටපතක් ඕනෑම කෙනෙකුට පරිශීලනය කිරීමට හැකියාවක් ඇති අතර ඉතා පහසුවෙන් අන්තර්ජාලයෙන් බාගත කරගත හැකිය. සෙවුම් යන්ත්‍රයක් භාවිතයෙන් GICS map book නමින් කරන සෙවීමක් ඒ සඳහා ඔබට උපකාර වනු ඇත.

    කාලයත් සමග, ලැයිස්තුගත සමාගම් නව ව්‍යාපාර අංශයන්හට යොමු විය හැකිය. මෙම වෙනස්වීම් ග්‍රහණය කර ගැනීමට GICS වර්ගීකරණය සුදානම්ද?

    ඔව්. වරක් ලැයිස්තුගත සමාගමක් GICS යටතේ වර්ගීකරණය කල පසු, අවම වශයෙන් වාර්ශිකව එම වර්ගීකරණය සමාලෝචනය කෙරෙනු ඇත. ඊට අමතරව, සිදුවිය හැකි සංස්ථානික ක්‍රියාමාර්ගයන් (corporate action) සදහා සමාගම් අඛන්ඩ සුපරික්ෂාවට භාජනය වේ. නිදසුනක් ලෙස, සංස්ථානික ක්‍රියාමාර්ගයක් විසින් සමාගමක මූලික ව්‍යාපාර කර්තව්‍ය යලි නිර්වචනය කල අවස්ථාවකදී, සුදුසු නව වර්ගීකරණයක් එම සමාගම සදහා සිදු කරනු ලබයි.

    අවම වශයෙන් වසරකට එක් වරක්, කුඩා නිරීක්ෂණ මාලවන් සිදු කිරීම තුලින් සමාගම් සිය මූලික ව්‍යාපාර කර්තව්‍ය යලි නිර්වචනය කර නොමැති බව තහවුරු කරගනු ලබයි.

    කොළඹ කොටස් හුවමාරුවහි ලැයිස්තුගත සමාගම් වර්ගීකරණය සදහා GICS යොදා ගැනීම තුලින් බලාපොරොත්තු වන්නාවූ සුවිශේෂී වාසී මොනවාද?

    මෙම ජාත්‍යන්තර සම්මතය භාවිත කිරීම, විදේශීය ආයෝජකයින්හට වෙනත් රටවල සමාගම් අප සමාගම් පහසුවෙන් සැසඳීම සදහාද, ඔවුන්ගේ අවදානය අප වෙළදපල දෙසට යොමු කර ගැනීම සදහාද උපකාරී වනු ඇත. මෙම GICS වර්ගීකරණය, අරමුදල් කලමනාකරුවන් සහ ආයෝජන පර්යේෂක ප්‍රජාව ට ව්‍යාපාර අංශ යටතේ විශ්ලේෂණයන් සිදු කිරීම සදහා ඉඩ ප්‍රස්ථාවක් සලසා දෙනු ලබයි. ව්‍යාපාර කොටස්වල ක්‍රියාකාරිත්වයට හේතුව, දේශීය ප්‍රවනතාවක්ද, පුළුල් ගෝලීය ප්‍රවනතාවක්ද යන්න නිර්ණය කිරීම සදහා වෙළදපල සහභාගිකරුවන් හට, GICS වර්ගීකරණය උපකාරී වේ. මෙම GICS පද්ධතියෙහි, අසමාන ලක්ෂණයන්ගෙන් යුත් සමාගම්, එක් පන්තියක් යටතේ වර්ගවීමට ඇති අවස්ථාව ඉතා අල්ප වේ.

    මෙම වර්ගීකරණයෙහි මට්ටම් සතර, තවදුරටත් විවිධ මට්ටම් යටතේ කරන්නාවූ විශ්ලේෂණයන් සදහා ඉඩ සලසා දෙනු ලබයි. උදාහරණයක් ලෙස, තම විශ්ලේෂණයන් ප්‍රධාන මට්ටම්හී සිදු කිරීමට බලාපොරොත්තුවන විශ්ලේෂකයෙකු සහ එම විශ්ලේෂණයන්ම ඉතා විස්තරාත්මක සහ ඉතා සියුම් මට්ටහී සිදු කිරීමට බලාපොරොත්තුවන විශ්ලේෂකයෙකු සමග සසඳන්න. සැබැවින්ම මෙම පුද්ගයන් දෙදනාගේම අවශ්‍යතාවයන් ඉටු කිරීමට GICS සමත්ය. පළමු විශ්ලේශකයා හට අංශ මට්ටම (GICS ධුරාවලියේ පළමු මට්ටම) යටතේද, දෙවැනි විශ්ලේශකයා හට GICS ධුරාවලියේ දෙවන, තෙවන හෝ හතර වන උප මට්ටම් යටතේ සිය වි විශ්ලේෂණයන් සිදු කල හැකිය.

    මෙලෙස, ආයෝජන ප්‍රජාවට අප කොටස් වෙළෙඳපොල කෙරෙහි ඇති උනන්දුව වර්ධනය කිරීමටත්, ජත්‍යන්තර වශයෙන් අප ලැයිස්තුගත සමාගම් කෙරෙහි ඇති අවදානය වර්ධනය (visibility of listed companies) කිරීමටත් අප බලාපොරොත්තු වේ. මෙවැනි අංග සම්පුර්ණ සම්මත වර්ගීකරණයක් තුලින් විදේශීය ආයෝයකයන්හට පමණක් නොව දෙශීය ආයෝජකයිටද නිසි ලෙස තම ආයෝජනයන් විවිධාංගිකරණය අවශ්‍ය සහයෝගය සලසා දෙනු ලබයි.

    කෙසේ නමුත්, අප වෙළෙඳපොල ලැයිස්තුගත සමාගම් ගණන ඉතා විශාල නොවන හෙයින්, ඉහත සදහන් ආකාරයට මට්ටම් හතරක් යටතේ වර්ගීකරණය ප්‍රයෝගික නොවන බැවින්, GICS වර්ගීකරණ හදුන්වාදීම පළමු සහ දෙවන මට්ටම් වලට පමණක් සීමා කර ඇත.

    කොළඹ කොටස් වෙළඳපොළට GICS වර්ගීකරණය හදුන්වාදීමෙහි සාර්ථකත්වය සාක්ෂාත් කරගන්නේ කෙසේද ?

    මෙවැනි ව්‍යාපෘතියක් හඳුන්වාදීමේදී, වැදගත් කාර්යභාරයක් උනන්දුවක් දක්වන පාර්ශව උපදේශනයන් (stakeholder consultation) ඉටු කරනු ලබන බව කොළඹ කොටස් හුවමාරුව තරයේ විශ්වාස කරනු ලබයි.

    ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා අප විසින් මුලික වශයෙන් ක්‍රියාමාර්ග දෙකක් ගෙන ඇත.

    පලමු ක්‍රියාමාර්ගය ලෙස අප, මෙම වර්ගීකරණය පිලිබඳ ලැයිස්තුගත සමාගම්, ඒකක භාර කළමනාකරණ සමාගම් වැනි සංස්ථානික ආයෝජයකයින්, තැරව්කාර සමාගම් සහ භාරකාර බැංකු ඇතුළු කොටස් වෙළඳපොල පිළිබද උනන්දුවක් දක්වන පාර්ශව සමඟ සාකච්චා වට කිහිපයක්ම පවත්වනු ලැබීය. මේවා දැනුම්වත් කිරීමේ වැඩ සටහන් මෙන්ම ඔවුන්ගේ අදහස් වලට සවන් දීමේ වැඩ සටහන් ලෙස සැලකිය යුතුය.

    දෙවැනි ක්‍රියාමාර්ගය ලෙස, නව GICS වර්ගීකරණය, දැනට පවතින වර්ගීකරණයත් සමග අතිරේක, විකල්ප වර්ගීකරණයක් ලෙස අවුරුද්දක පමණ නියමු ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කලෙමු. නියමු ව්‍යාපෘතිය වුවද, ටිකෙන් ටික ක්‍රමානුකුලව ක්‍රියාවට නැංවීම සිදු කරනු කරනු ලබයි. පළමුව, මෙම මස මුල සිට අප වෙබ් අඩවියෙහි මෙම වර්ගීකරණය පල කිරීම තුලින් හඳුන්වාදීම ආරම්භ කළෙමු. නුදුරේදීම, අප අනු දර්ශක හදුන්වාදීම සිදු කරනු ලබන අතර ඉන් අනතුරුව මුද්‍රිත ප්‍රකාශයන් ආදියෙහි ප්‍රචාරණය පුළුල් කිරීමටත් සැලසුම් කරනු ලබයි. මෙම නියමු කාලය අවසානයෙහි උනන්දුවක් දක්වන පාර්ශව හා උපදේශනයක් සිදු කිරීම තුලින්, GICS වර්ගීකරණයට සම්පුර්ණ ලෙස මාරුවීම පිලිබඳ සාකච්චා කිරීමට අප බලපොරෝත්තු වෙමු.

    මෙමගින් නව වර්ගිකරණයකට පරිවර්තනය වීමෙහි සාර්ථකත්වය සහතික කරනා බවට අප විශ්වාස කරමු. ඔබට ඇති ගැටළු gics@cse.lk යන විද්‍යුත් තැපෑල වෙත යොමුකරන්න.

    නිශාන්ත හේවාවිතාන
    ප්‍රධානි, පර්යේෂණ හා නව මුල්‍ය මෙවලම් අංශය
    කොළඹ කොටස් හුවමාරුව