අපේ සයුර දූෂණයෙන් රැක ගැනීමට මෘදුකාංගයක්

    May, 20, 2015

    ශ්‍රී ලංකාවට සේන්දු වන නෞකා මගින් මෙරට සාගර කලාපය දූෂණය වීම වැළැක්වීම සඳහා සහාය කර ගත හැකි මෘදුකාංගයක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සහ සමුද්‍රීය පරිසර ආ‍රක්‍ෂණ අධිකාරිය ඒකාබද්ධව සකස් කර ඇත.

    ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත නෞකාවන් පිළිබදව කලින් තොරතුරු දැනගනිමින් එම නෞකා වල තිබෙන අපද්‍රව්‍යය ඉවත් කිරීමට අදාළ කටයුතු වඩාත් විධිමත් සහ කාර්යක්‍ෂම ලෙස සිදු කිරීමට මෙම මෘදුකාංගය මගින් හැකිවන බව නියෝජිතායතනයේ ඉ-සේ‍වා ව්‍යාපෘති ප්‍රධානී කාංචන තුඩුගල මහතා පවසයි.

    තවද නෞකාවන්හි සමබරතාවය ආරක්‍ෂාකර ගැනීමට ගබඩාකර තැබෙන ජලය ඉවත් කිරීම සහ නැවත පුරවා ගැනීමේ කටයුතු වෙනුවෙන්ද මෙම මෘදුකාංගය උදව් කර ගත හැකි බව තුඩුගල මහතා කියයි.

    සමුද්‍රීය පරිසර ආ‍රක්‍ෂණ අධිකාරිය සඳහන් කරන්නේ වසරකට ශ්‍රී ලංකාවට නෞකා පන්දහසක් පමණ පැමිණෙන බවත් ‍එයින් දහසක් පමණ නෞකා මෙරටදී අපද්‍රව්‍යය බැහැර කරන බවත් එම ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් විසිදහසක් පමණ වන බවයි.

    මෙම මෘදුකංගය නිසා ඉතා නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ මෙම සමුද්‍රීය අපද්‍රව්‍යය බැහැර කිරීමට හැකි වන බවත් එය මෙරට සමුද්‍ර කළාපය සමුද්‍ර දූෂණයෙන් රැක ගැනීමට මහගු රුකුලක් වන බවත් අධිකාරිය වැඩිදුරටත් කියයි.

    ඉදිරි සති කිහිපය තුළදී මෙම මෘදුකාංගය මගින් සේවා ලබා ගැනීමට හැකි බව නියෝජිතායතනය පවසයි.