අභියෝගාත්මක දෙවන කාර්තුවේත් හැටන් නැෂනල් බැංකුව මූල්‍ය විශිෂ්ටත්වය තහවුරු කරයි

    August, 28, 2019

    රටේ පැවති අභියෝගාත්මක වාතාවරණය හමුවේත් හැටන් නැෂනල් බැංකුව තම මූල්‍ය විශිෂ්ටත්වය නැවතත් තහවුරු කරමින් 2019 පළමු අර්ධයේ බදු පෙර ලාභය ලෙස රුපියල් බිලියන 8.3 ක් සහ බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 4.8 ක් වාර්තා කිරීමට සමත් වී ඇත. අදාළ කාලයේ සමුහයේ බදු පසු ලාභය  රුපියල් බිලියන 5.1 වාර්තා වී ඇත.

    මෙවර ශේෂ පත‍්‍රය යම් මන්දගාමී බවක් පෙන්වුවත් බැංකුවේ ශක්තිමත් ව්‍යාපාර ආකෘතිය හා දූරදර්ශී වත්කම් සහ වගකීම් කළමනාකරණය නිසා  මූලික බැංකු මෙහයුම් තුළින් ශක්තිමත් ප‍්‍රතිඵල වාර්තා කිරීමට බැංකුව සමත් වී තිබේ. 2019 පළමු මාස හය සඳහා ශුද්ධ පොලී ආදායම (NII) පෙර වසරට සාපේක්ෂව 17.9% කින් වර්ධනය වී ඇති අතර එය රුපියල් බිලියන 25.9 ක් විය. විවිධ ප‍්‍රභවයන්ගෙන් ලබා ගන්නා ගාස්තු හා කොමිස් ආදායම බිලියන 4.4 ක් වූ අතර එය බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායමෙන් 15% කි.

    රුපියල අගය කිරීම මත විදේශ විනිමය හුවමාරු සහ විදේශ විනිමය බැංකු ඒකක මත ඉපයීම් සම්බන්ධයෙන් රුපියල් මිලියන 577.2 ක අලාභයක් පළමු අර්ධය තුළ වාර්තා වීමට හේතු වූ අතර මීට පෙර වර්ෂයේ (2018 ජූනි )අදාළ කාල සීමාවේදී විනිමය ලාභය ලෙස රුපියල් 895.5 ක් ඉපයීමට සමත් විය.

    හැටන් නැෂනල් බැංකුවේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා මූල්‍ය ප‍්‍රතිඵල පිලිබඳ අදහස් දක්වමින්. ‘‘පසුගිය අපේ‍්‍රල් මස සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් පසුව ආර්ථිකය යම් තරමකට පසු බෑවත් එය සිතුවාට වේගයෙන් යථා තත්ත්වයට පත්වන බව පෙනෙන්නට තිබෙනවා. ණය පොළී සහ තැන්පතු පොළී අනුපාතය අඩු කිරීම හැර ශ‍්‍රී ලංකා මහා බැංකුව ගත හැකි විකල්පයක් නොතිබූ අතර ඒ සමගම කෙටි කාලයක් තුළ තුළ එකසත් ජනපද මහා බැංකුවද එම තීරණයම ගැනීම යම් ධනාත්මක පසුබිමක් ඇති කිරීමට සමත් වූ බව කිව යුතුයි. ශ‍්‍රී ලංකා ස්වෛරීත්ව ණය සම්බන්ධයෙන් ගෝලීය ආයෝජකයින්ගේ උනන්දුවේ කිසිදු පසුබෑමක් නොමැති අතර කොටස් වෙළෙඳ පොළේ යම් සුළු පිබිදීමක් සමග සංචාරකයින්ගේ පැමිණීමද යථා තත්ත්වයට පත්වෙමින් තියෙනවා. කෙසේ වෙතත් ව්‍යාපාරික දර්ශකයන් ධනාත්මක තත්ත්වයක් පෙන්නුම් කළත් අවිනිශ්චිතතාව සහ ව්‍යාපාර ආයෝජනය සම්බන්ධ විශ්වාසයේ යම් අඩුවක් තවමත් දක්නට ලැබෙනවා’’ යනුවෙන් පැවසීය.

    හැටන් නැෂනල් බැංකුවේ කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වන කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරි ජොනතන් අලස් මහතා, ‘‘පසුගිය කාර්තු කිහිපයම සැළකීමේදී සමස්ත බැංකු ක්ෂේත‍්‍රයම විවිධ වූ අභියෝග රාශියකට මුහුණ දී තිබෙනවා. දළ දේශීය නිෂ්පාදනයේ මන්දගාමී වර්ධනය ,ඉහළ පොළී අනුපාතය, කෘෂිකාර්මික සහ ඉඳිකිරීම් ක්ෂේත‍්‍රයේ මෙහයුම් හි ඇතිවූ පසුබෑම නිසා නොගෙවූ ණය ප‍්‍රමාණය ඉහල යාම වැනි කාරණා මේ සඳහා හේතු වී තිබෙනවා. වාණිජ බැංකු සම්බන්ධව BASEL III මගින් ප‍්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නැංවීම නිසා  වත්කම් හි ගුණාත්මක තත්ත්වය පිලිබඳ පීඩනයක් ඇති වූ අතර ණය ආපසු ගෙවීමේ බද්ද පැනවීම හේතුවෙන් ඉහළ බදු අය කිරීමට සිදුවීමත් සමග තත්ත්වය වඩාත් දුෂ්කර වූ අතර අපේ‍්‍රල් 21 අවාසනාවන්ත සිදුවීම මගින් මෙම තත්ත්වයන් තවත් උග‍්‍ර අතට පත් වුණා. එසේ වුවද, හැටන් නැෂනල් බැංකුව සතු ශක්තිමත් කළමනාකරණයත් ක‍්‍රියාදාමයන් කල්තියාම නැවත සලකා බැලීමත් නිසා යළිත් වරක් තම මූල්‍ය ශක්තිය පෙන්නුම් කිරීමට සමත් වී තිබෙනවා”

    ‘‘තවද බැංකුවේ වත්කම් හි ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමට බැංකුව බොහෝ කැපවී කටයුතු කල අතර ඒ හේතුවෙන් ජුනි මාසයේදී බැංකුවේ අක‍්‍රිය ණය ප‍්‍රමාණය අඩු කිරීමට අප සමත් වී තිබෙනවා. මෙය අපගේ ව්‍යාපාර ආකෘතියේ ශක්‍යතාව, කණ්ඩායමේ කැපවීම සහ බැංකුව විසින් ගනු ලැබූ කාලෝචිත ක‍්‍රියාමාර්ගයන්හි සාර්ථකත්වය සම්බන්ධව දිය හැකි පැහැදිලි සාධක වෙනවා. දියුණුවේ සැබෑ හවුල්කරුවෙකු ලෙස බැංකුව විපතට පත් තම පාරිභෝගිකයින් වෙනුවෙන් තවත් පියවරක් තබා ඇති අතර ණය සම්බන්ධව ද සහන රැුසක් ක‍්‍රියාත්මක කර තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ පවත්නා ස්වභාවය යථා තත්ත්වයට පත්වී සියල්ල යහපත් අතට හැරී රට ඉදිරියට ගමන් කරනු ඇතයි අප විශවාස කරනු ලබනවා’’ යනුවෙන් ඔහු වැඩි දුරටත් පවසයි.

    2019 පළමු අර්ධයේ බැංකුවේ බදු පෙර ලාභය සඳහා බිලියන 1.2 ක් වූ ණය පියවීමේ බද්ද බලපෑ අතර 2018 පළමු අර්ධයේ එවැනි පියවීමක් නොමැති වූ නිසා එවැනි බලපෑමක් ඇති නොවිණි. කෙසේවෙතත් බැංකුවේ බදු පෙර ලාභය ලෙස රුපියල් බිලියන 8.3 ක් වාර්තා වූ අතර බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 4.8 ක් වාර්තා කිරීමට සමත්ව ඇත. 2019 පළමු කාර්තුවට සාපේක්ෂව එය රුපියල් බිලියන 2.8 ක වැඩිවීමක් වන අතර ප‍්‍රතිශතයක් ලෙස 36.3% ක ඉහළ යාමකි.

    සමුහයේ සියලූ සමාගම් එකතුව දෙවන කාර්තුවේ බදු පෙර ලාභය ලෙස රුපියල් බිලියන 9 ක් වාර්තා කිරීමට සමත් වී ඇත. දෙවන කාර්තුවේ රුපියල් බිලියන 3.1 ක් සමග සමුහයේ බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 5.1 ක් වාර්තා කිරීමට සමත් වූ අතර එය පෙර කාර්තුවට සාපේක්ෂව 52 % ක වර්ධනයකි. 2019 පළමු අර්ධයේ සමුහයේ සමස්ත බදු පියවීම ලෙස රුපියල් බිලියන 7.8 ක් වාර්තා වන අතර ඉන් බිලියන 7.2 ක් බැංකුව පාර්ශවයෙන් කරන ලද බදු පියවීම් වේ.

    ඡායාරූප -  දිනේෂ් වීරකොඩි (සභාපති - හැටන් නැෂනල් බැංකුව) සහ ජොනතන් අලස් (කළමනාකාර අධ්‍යක්ෂ / ප‍්‍රධාන විධායක - හැටන් නැෂනල් බැංකුව)