අමානා බැංකුව විදෙස් සහාය පතයි

    January, 2, 2017

    බැංකු පනතේ 19 වැනි වගන්තියට අනුව නියම කර ඇති අවම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් විදේශීය ආයෝජකයන් සමඟ මේ වන සාකච්ඡා පවත්වමින් සිටින බව අමානා බැංකුව කියා සිටී.

    2017 අයවැය යෝජනාවලට අනුව බලපත්‍රලාභී වාණිජ බැංකුවල මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවය රුපියල් බිලියන 10 සිට රුපියල් බිලියන 20 දක්වා ඉහළ දමන ලදී.තවද බලපත්‍රලාභී විශේෂිත බැංකුවල අවම ප්‍රාග්ධනය රුපයිල් බිලියන 7.5 දක්වා ද, ප්‍රාථමික වෙළෙඳුන් සඳහා වන අවම ප්‍රාග්ධන ප්‍රමාණය රුපියල් බිලියන 1.5 දක්වා ද මෙවර අයවැය යෝජනා තුළින් ඉහළ දමන ලදී.

    මේ පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් අමානා බැංකුව කියා සිටින්නේ, ශ්‍රී ලංකා මහ බැංකුව, විනිමය පාලන දෙපාර්තමේන්තුව, සුරැකුම්පත් හා විනිමය කොමිසම සහ කොළඹ කොටස් වෙළෙඳපොළ යන ආයතනවල අනුමැතිය මෙන්ම සිය කොටස්කරුවන්ගේ ද අනුමැතිය ඇතිව හිමිකම් කොටස් නිකුතුවක් තුළින් මෙම අරමුදල් සම්පාදනය කරගැනීමට පියවර ගන්නා බවයි.