March, 11, 2019
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) 2019 අයවැය මගින් වාහන මත පනවා ඇති බදු මගින් වාහන ආනයන කර්මාන්තයට සිදුවන බලපෑම පිළිබඳ පැහැදිලි කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා සංවිධානය කළේය.
පෙට්‍රල් සහ හයිබ්‍රිඩ් වාහන සඳහා වැඩි කර ඇති රේගු බදු හේතුවෙන් වාහන මිල ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව එහිදී අනාවරණය විය.
නිෂ්පාදන බදු සහ සුඛෝපභෝගී බදු වැඩි කිරීම හේතුවෙන් අයවැයෙන් පසු ජනප්‍රිය සන්නාම ගණනාවක මිල ගණන් ඉහළ ගොස් ඇත.
ඒ අනුව, Suzuki Alto රථය රු. 150,000කින් ද , Daihatsu Mira රථය රු. 150,000කින් ද, Suzuki Jimny රථය රු. 150,000කින් ද, Suzuki Wagon R රථය රු. 250,000කින් ද, Suzuki Spacia රථය රු. 250,000කින් ද, Toyota Vitz රථය රු. 250,000කින් ද, Suzuki Swift රථය රු. 250,000කින් ද, Honda Civic රථය රු. 250,000කින් ද, Audi A1 රථය රු. 250,000කින් ද, Suzuki Grand Vitara රථය රු. 250,000කින් ද, Toyota Axio Hybrid රථය රු. 525,000කින් ද, Honda Vezel රථය රු. 525,000කින් ද, Toyota CH-R රථය රු. 540,000කින් ද, Toyota Premio රථය රු. 675,000කින් ද, Toyota Allion රථය රු. 675,000කින් ද Honda CRV රථය රු. 675,000කින් ද වැඩිවේ.
"රජය විසින් වාහන මත පනවා ඇති නව බදු පිළිබඳ අපගේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. මේ හේතුවෙන් වාහන මිලෙහි කැපීපෙනෙන වෙනසක් සිදුවනවා. මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යන විට සාමාන්‍ය පාරිභෝගිකයන් වාහන මිලදී ගැනීමට පසුබට වන අතර ඒ හරහා වාහන ආනයන කර්මාන්තය තුළ කඩාවැටීමක් සිදුවිය හැකියි" යනුවෙන් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස් මහතා සඳහන් කළේය.
නිෂ්පාදන මිලට පිරිවැය, ප්‍රවාහන සහ නාවික අගය මත බදු පැනවීමක් මෙම අයවැය මගින් සිදුකර ඇති බවය. එබැවින් බදු රහිත කාලය දිගුවන විට මුල් මුදලට බද්දක් අය කිරීමට නියමිතය.
උදාහරණයක් ලෙස රු. මිලියන 3.5 ට වැඩි වාහන සඳහා අමතර 'සුඛෝපභෝගී බද්දක්' අය කෙරෙන අතර, එය 'ආනයන බද්දක්' ද වන බැවින් ඒ හරහා වාහන මිල අනපේක්ෂිත ලෙස ඉහළ යා හැකි බව ද එම සංගමය පෙන්වා දුන්නේය.
"සුඛෝපභෝගී බදු අය කිරීමේ පදනම කුමක්දැයි අප හඳුනාගෙන ඇති නමුත්, වාහන ආනයන කර්මාන්තයට අහිතකර බලපෑමක් නොවන අයුරින් වඩාත් සාධාරණ මිල ක්‍රමයක් හඳුන්වා දෙන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිනවා" යනුවෙන් පීරිස් මහතා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේය.
කිලෝ ග්‍රෑම් 2,000ට අඩු ධාරිතාවයෙන් යුතු මිනි බඩී රථ මත පනවා ඇති නිෂ්පාදන බද්ද රු. 100,000කින් අඩු කිරීමට රජය පියවර ගෙන ඇතත්, වර්තමානයේ විනිමය අනුපාත පිළිබඳ සැලකීමේදී මිල ගණන් මත කැපීපෙනෙන බලපෑමක් ඇති කිරීමට හෝ එම කාණ්ඩයේ පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට හෝ එම අගය ප්‍රමාණවත් නොවන බව ද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දුන්නේය.
මෙම නව අයවැය යෝජනා හේතුවෙන් දැනට පවතින වටිනාකම අනුව ණය අනුපාතය (LTV) පිළිබඳ යළි සලකා බලන ලෙස ද එම සංගමය රජයට අවධාරණය කර සිටියේය. දැනට පවතින 50%ක් වූ LTV අනුපාතය යටතේ පාරිභෝගිකයෙකුට වාහනයක් මිලදී ගැනීම සඳහා මෙම අරමුදල් සහයෝගය අවශ්‍ය වේ. දැනට පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙම අනුපාතය 75%ක් දක්වා වැඩි කර සාමාන්‍ය ජනතාවට වාහනයක් මිලදී ගැනීමේ අවස්ථාව පුළුල් කළ යුතු බව ද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
Video Story