අයවැය කියන්නේ බොරුවක්ද? සෑහෙන දුරට එකඟවෙන්න සිදුවෙනවා – විගණකාධිපති කියයි

    March, 5, 2019

    පසුගිය දශක දෙක තුනක කාලපරිච්ඡේදය තුළ අයවැය පිළිබඳ අවධානය යොමු කළ විට එය යම් යම් දත්තයන්ගේ එකතුවක් මිසක, යථාර්ථයට බොහෝ දුරස් වූ සංකල්පයක් බවට පත්ව ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි. මෙහිදී ‘අයවැය කියන්නේ බොරුවක්ද“ යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් විගණකාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, එම ප්‍රකාශය සමඟ සෑහෙන දුරට එකඟතාවයක් පළ කිරීමට සිදුවන බවයි. අද දෙරණ අයවැය 2019 විශේෂ විකාශය සමඟ එක්වෙමින් විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විගණකාධිපතිවරයා මෙසේ පැවසීය.

    “අයවැය කියන්නේ රජයේ ආදායම් හා වියදම් සන්සන්දනය කිරීම හා ඉදිරි කාලයේ ආදායම් සහ වියදම් කෙසේ කළමනාකරණය කර ගත යුතුද කියන කාරණය පිළිබඳව සකස් කරන වාර්තාවක්. පසුගිය දශක දෙකේම වාර්තා දිහා බලපුවාම ඇත්ත වශයෙන්ම ඒ හැම වාර්තාවක්ම වර්ෂය අවසානයේ දී බලාපොරොත්තු වූ අරමුණුවලට ළඟා වීමට හැකියාවක් ලැබිලා නැති වාර්තා හැටියට තමයි වාර්තා වෙන්නේ.“

    “ගොඩාක් අවස්ථාවල දී ඒ වාර්තාවලින් කිරීමට බලාපොරොත්තු වුණු වැඩ කොටසින් විශාල ප්‍රමාණයක් සිද්ධ වෙලා නැහැ. සමහර වෙලාවට සමහර අංශවල බලාපොරොත්තු වුණාට වඩා වැඩි දේවල් සිද්ධ වෙල තියෙනවා. ඇත්ත වශයෙන් ඒකෙන් අදහස් වෙන්නේ නිසි සැලසුමක් නැහැ කියන එකයි. ඒ කියන්නේ වාර්තාවක් සකස් කරනවා, ඒක ඉදිරිපත් කරනවා, නමුත් ඒ වාර්තාවට පදනම් වූ පසුබිම් සහ එය සකස් කිරීමට යොදා ගත් දත්තයන්ගේ නිවැරදිතාවයන් පිළිබඳව ඇත්තටම ප්‍රශ්නයක් තමයි තියෙන්නේ.“

    ප්‍රශ්නය - ඒ කියන්නේ අයවැය කියන්නේ බොරුවක්ද?

    “විගණකාධිපති හැටියට මට පසුගිය දශක දෙක තුන දිහා බලපුවාම ඔබගේ අදහසට සෑහෙන දුරට එකගතාවයක් පළ කරන්න සිද්ධ වෙනවා. මොකද මෙය යම් යම් දත්තයන්ගේ එකතුවක් මිසක්, යථාර්ථයක් කියන සංකල්පයට දෙන්න පුළුවන්කම තියෙන ඉඩකඩ අඩුයි.“

    “රජය ශක්තිමත් කරන්න නම් ණය බර අඩුකර ගන්න ක්‍රමවේදයකට යන අතරතුරේ මේ සහන පැකේජ දීම සිදුකරන්න වෙන්නේ. නමුත් පසුගිය වර්ෂයේ මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය වාර්තා බැලුවොත් ඒකාබද්ධ අරමුදලේ සෘණ ශේෂය, එහෙම නැත්නම් අවාසිදායක ශේෂය මොන මොන ගිණුම්වල නම්වලින් සඳහන් කළත්, ට්‍රිලියන 8 කට වැඩිවෙනවා. ට්‍රිලියන 8 ක්ම කොහෙන් හරි හොයන්න වෙනවා, මේක කවර් කරන්න. ඒවා ඔක්කොම අනිත් පැත්තෙන් තියෙන්නේ ණය හැටියට. තවදුරටත් මේ ණය බර අඩු කර ගන්න ක්‍රමවේදයකට යනවා විනා, මෙය වැඩිකර ගන්නා ක්‍රමවේදයකට ගිහිල්ලා, මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියලා මා දකින්නේ නැහැ.“