අර්බුදයට විසඳුමක් සොයා පී.සී. හවුස් හෝල්ඩින්ග්ස්, Beico Link Carbon විකුණයි

    July, 4, 2014

    මූල්‍ය අර්බුදයකට පත්ව තිබෙන පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගම සතු කාබන් නිෂ්පාදනය කරන Beico Link Carbon (Pvt) Ltd සමාගමේ 100% ක කොටස් බැංකු සහ අනිකුත් වගකීම්ද ඇතුළත්ව රුපියල් මිලියන 180 කට විකුණා ණය කරුවන්ගේ මුදල් වලින් කොටසක් ගෙවීමට සමාගම තීරණය කර ඇත.

    පසුගියදා රැස්වූ පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබෙන අතර ඒ බව සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.

    මේ අනුව, Beico Link Carbon (Pvt) Ltd සමාගම විකිණීමට තීරණය කර තිබෙන්නේ එම්.එම්. වෙන්චර් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් නැමති සමාගමටයි. Beico Link Carbon (Pvt) Ltd සමාගමට එරෙහිව මේ වනවිට ණයකරුවන් පිරිසක් නීතිමය පියවරද ගෙන තිබෙන අතර එය සමාගමේ ව්‍යාපාරික කටයුතු වලට විශාල බාධාවක් වී ඇත.

    ගෙවිය යුතු ණය වලට අදාළව ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුව විසින් මේ වනවිටත් Beico Link Carbon (Pvt) Ltd සමාගමට එන්තර වාසි ඒවා තිබෙන බවත් බැංකුව සතු පරාටේ බලය යොදා ගනිමින් උකස් කර තිබෙන දේපොළ පිළිබඳව ඉදිරියේදී කටයුතු කරනු ඇති බවත් සඳහන්ය.

    මේ අතර, පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් වැඩිදුරටත් පවසා තිබෙන්නේ Beico Link Carbon (Pvt) Ltd සමාගමේ ණය ගෙවා දැමීමට සමූහයට ශක්තියක් නොමැති බවත් තිබෙන හොඳම විසඳුම මෙම සමාගම විකුණා දැමීම බවයි.