අලාභ ලැබූ ලංකා IOC මාස 03 කදී රු. මිලියන 245 ක ලාභයක් වාර්තා කරයි

    August, 7, 2018

    ලංකා IOC සමාගමේ 2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

    මෙම ප්‍රතිඵලවලට අනුව ලංකා IOC සමාගම පසුගිය කාර්තුවේ දී රුපියල් මිලියන 245.86 ක බද ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර ඇත.

    මෙහි ඇති වි‍ශේෂත්වය වනුයේ 2017 ජූනි කාර්තුවේ දී ලංකා IOC සමාගම විසින් රුපියල් මිලියන 135.23 ක බදු ගෙවීමෙන් පසු අලාභයක් වාර්තා කර තිබීමයි. මේ අනුව පැවති සමාගමේ අලාභදායීත්වය පසුගිය කාර්තුවේ දී පහව ගොස් තිබේ.

    තවද 2017 මාර්තු 31 න් අවසන් කාර්තුවේ දීද ලංකා IOC සමාගමේ බදු ගෙවීමෙන් පසු රුපියල් මිලියන 103 ක අලාභයක් වාර්තා කර තිබුණි. එසේම 2017/18 මූල්‍ය වර්ෂය තුළ දී සමාගම් ලැබූ සමස්ත අලාභය රුපියල් මිලියන 755.56 ක් ලෙසින් වාර්තා වී තිබේ.

    මෙම නවතම මූල්‍ය ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම අද දින පෙරවරුවේ දී ලංකා IOC සමාගමේ කොටසක මිල රු. 33.50 ක් දක්වා රු. 1.40 කින් ඉහළ ගිය අතර මෙය පෙර දිනය හා සැසඳීමේ දී 4.36% ක වර්ධනයකි.