අලාභ වසාගන්න ලංකා IOC ඉන්ධන මිල ඉහළ දමයි

    March, 24, 2018

    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

    මෙහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 9 කින් වැඩි කර ඇති අතර ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රු. 126 ක් වේ.

    මේ අතර රු. 95 ක්ව පැවති ඩීසල් ලීටරයක් රු. 5 කින් මිල වැඩි කර ඇති අතර එහි නව මිල රු. 100 කි.

    ලංකා IOC සමාගම පසුගිය 2017 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී රුපියල් මිලියන 340 ක අලාභයක් ලබා ඇති බව එම සමාගමේ මූල්‍ය වාර්තා පෙන්වා දේ. 2016/17 මූල්‍ය වර්ෂයේ මුල් මාස 09 තුළ දී රුපියල් බිලියන 3.71 ක ලාභයක් ලබා ඇති ලංකා IOC සමාගම 2017/18 මූල්‍ය වර්ෂයේ මුල් මාස 09 තුළ දී රුපියල් මිලියන 652 ක අලාභයක් ලබා තිබේ.

    සමාගම පෙන්වා දෙන්නේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල සංශෝධනය නොවීම සහ ආනයනික නිෂ්පාදන බදු ඉහළ යාම මීට හේතු වී ඇති බවයි.